hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 20, ප.ව. 2:51



පොදු ජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී තාවකාලික පැවිදි භාවය ලබා තිබෙනවා. 

ගුණතිලක රාජපක්ෂ මහතා මෙලෙස පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් ඇති අතර 20 දින පෙරවරුවේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ ඉසිපතනරාම මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායක හිමිවරුන්ගේ උපද්‍යායයෙන් යුක්තව ආගමික වතාවත් අනුව බෞද්ධ චාරිත්‍රානුකූල පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි භාවයට ඇතුලත්ව ඇත.

කැනඩාවේ පදිංචි වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මේ අවස්ථාවේ දීම තාවකාලික පැවිදි භාවයට ඇතුලත් වීමද විශේෂයකි.

ගුණතිලක රාජපක්ෂ මහතාගේ බිරිඳද මෙයට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඒ මහතා රෝහල්ගත කිරීමටද පියවර ගන්නා ලදි.

දැඩි කාර්යබහුල ජීවිතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති මනස සන්සුන් කර ගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළ බවද මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවද පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි සඳහන් කළා.

කෙටි කලක් තාවකාලික පැවිදි භාවයේ ගත කිරීමට තීරණය කොට ඇති ඒ මහතා මෙම කාලය තුළ  දඹදිව සිද්ධස්ථාන රැසක් වන්දනා කිරීමටද බලාපොරොත්තු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: