hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 13, ප.ව. 2:07



විදේශීය සංචාරකයකු කළුතර දී ගසාකෑමකට ලක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙන විඩීයෝවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

තමන් මුහුණ දුන් එම අප්‍රසන්න සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණේ ශ්‍රී ලංකාව ගවේෂණය සඳහා පැමිණි බෙල්ජියම් සංචාරකයකු වන ටිම් ටෙන්ස් විසිනි.

ටිම්ට අනුව, ඔහු පසුගියදා කළුතර සිදුකළ සංචාරයේදී මෙම වංචාවට ගොදුරු වී තිබෙනවා.

දේශීය අවන්හලකට ගොඩ වැදුණු ඔහුගෙන් උළුඳු වඩේ එකක් සහ ප්ලේන් ටී කෝප්පයක් සඳහා රුපියල් 1,000ක් අය කිරීම එම වංචාවයි.

“ශ්‍රී ලංකාවේ කළුතර සිටින මේ මිනිසා මගහරින්න” යන මාතෘකාවෙන් ඔහු සිය යූ ටියුබ් වීඩියෝව නිකුත් කර තිබිණි.

ටිම් සිය අත්දැකීම විස්තර කකරමින් පවසන්නේ තමා ත්‍රිරෝද රථයෙන් කළුතරට පැමිණ වාහනය නතරකළ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයකු පැමිණ නියම ශ්‍රී ලාංකීය ආහාර අත්දැකීමක් සඳහා ‘වදනි විලාස් සයිවර් කඩේ’ නම් ස්ථානයට රැගෙන ගිය බවයි.

එහිදී ඔහුට උළුඳු වඩේ සහ ප්‍ලේන් ටී එකක් පිරිනමා තිබෙනවා.

ටිම් ඔහුගේ ආහාර වේල රස විඳින අතරතුර අදාළ පුද්ගලයා කළුතර සංචාරක ස්ථාන නැරඹීමට යෝජනා කරමින් ඔහු රැගෙන යෑමට සැලසුම් ඉදිරිපත් කළ ද ටිම් එය ආචාරශීලීව ප්‍රතික්ෂේප කරමින් ස්වාධීනව ගවේෂණය කිරීමට තීරණය කළා.

ටිම් බිල්පත ගැන විමසූ විට කම්පනයට පත්වන්නේ වඩේ එකක් සහ ප්‍ලේන් ටී එක සඳහා ඔවුන් රුපියල් 1,000ක් අය කර තිබීම හේතුවෙනි.

යමක් වැරදී ඇති බව දැනුණු ඔහු මිල ප්‍රශ්න කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිල රුපියල් 800ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

පසුව ඔහු වීඩියෝව සංස්කරණය කරන අවස්ථාවේ වඩේ එකක මිල රුපියල් 80ක් ලෙස සටහන් කර තිබෙනු නිරීක්ෂණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහු පිටව යන අවස්ථාවේ මිල ගණන් ගැන මුදල් අයකැමිට නොසතුට පළ කර තිබිණි.

එහිදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ සංචාරකයන් සඳහා වැඩි මුදලක් අය කරන බවයි.

සිද්ධිය ගැන ආවර්ජනය කරමින් ටිම් ප්‍රකාශ කරන්නේ මෙම වෙළෙඳසැල කළුතර කීර්ති නාමයට කැළලක් ඇති කරන බවයි.

සිද්ධියට අදාළ වීඩියෝව ඔහු විසින් ‘Tim Tense’ නාලිකාවේ අප්‍රේල් 10 වැනිදා ප්‍රසිද්ධියට පත්කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: