2026 මැයි 28, පෙ.ව. 12:15
සකුරා දේශයේ අනාගතය ගොඩනගා ගැනීමේ සිහිනයෙන් ජපානයට පියනැගූ තවත් ශ්‍රී ලාංකික තරුණයෙකුගේ ජීවිතය, පොලිස් රැඳවුම් කුටියක වූ සීතල යහනක් මත සදහටම නිසල වී ගොස් තිබේ.
ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ ට්සුචියුරා නගරයේ පොලිස් භාරයේ රඳවා සිටි බෙලිඅත්ත, මහහීල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි හේවාමානගේ විචක්ෂණ සුපසන් නමැති තරුණයා පසුගිය මැයි 19 වන දින මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ජපාන මාධ්‍ය වාර්තා කරන පරිදි එදින දහවල් කාලයේදී ඔහුගේ ගෙරවුම් ශබ්දය නතර වී හුස්ම ගැනීම අපහසු වී ඇති බව මුර සංචාරයේ නිරත ආරක්ෂක නිලධාරියෙකු දැක ඇති අතර, පසුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව රෝහල් බලධාරීන් විසින් තහවුරු කර තිබේ.
මෙම ශෝකාන්තයේ වඩාත්ම කම්පන සහගත පැතිකඩ මතුවන්නේ මියගිය තරුණයාගේ නැගණිය වන සත්‍යානි ශාක්‍යා නගන බරපතළ චෝදනා හමුවේය. තම සහෝදරයා මාස දෙකක් තිස්සේ ප්‍රතිකාර ඉල්ලා වැඳ වැටුණද පොලිසිය ඔහුට කිසිදු වෛද්‍ය ආධාරයක් ලබා නොදුන් බවත්, මෙය පොලිසිය විසින් නොමරා මැරූ ඝාතනයක් බවත් ඇය චෝදනා කරන්නීය.
මරණය සිදුවූ දිනයේ තම අයියා බැලීමට ගිය අවස්ථාවේ ඔහුගේ මුළු සිරුරම සීතල වී, දිව කහ පැහැ ගැන්වී, තොල් සහ කට අවපැහැ ගැන්වී තිබෙනු තමා දුටු බව පවසන ඇය, මේ වනතුරුත් තම සහෝදරයාට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව හඬා වැටෙමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණි.
“අනේ මේ වෙලාවේ උදව් කරන්න පුලුවන් හැමෝම උදව් කරන්නකෝ මට..මගේ අයියව නොමර මැරුවා මේ tsuchiura පොලීසියෙ මිනිස්සු…තාමත් කිසිම සාදාරනයක් මගේ අයියා වෙනුවෙන් වුනේ නෑ.මගේ අයියා නැති වුනේ 2026.05.19 අනේ ඉතිම් අද 2026.05.22 අනේ..! තාමත් මගේ අයියගේ කිසිම වාර්තාවක් මට දුන්නේ නෑ. මන් ඊට පස්සේ 2026.05.21 දවල් 2 විතර tsuchiura පොලීසියට ගියා” මගේ අයියගේ හදිසි මරණය මට සැකසහිතයි, එයාට එහෙම උනේ කොහොමද, එයා හිටියේ පොලීසියේ බාරයේ නේද? ඉතිම් පොලීසිය විසින් එයාව නොසලකා හැරියද???
මන් කිව්වා මගේ පැමිනිල්ල ලියාගන්න..! මේ පිලිබද පුලුල් පරීක්ශනයක් මට ඕනී! මගේ අයියට සාදාරනයක් නැද්ද? කොච්චර එ මිනිස්සුට මේක කියලා ඉල්ලීම් කරත් මගේ පැමිනිල්ල ලියාගන්නෙත් නැතුව හවස5.30 වෙනකම්ව රස්තියාදු කරලා “ඔයා කියන දේ අද කරන්න බෑ හෙට උදේම ඔයා එන්න “කිව්වා.අනේ ඉතිම් මන් ඊලග දවසෙත් උදේ 9 ගියා.මන් ඊට කලින් දවසේ කිව්වා මට සින්හල translator කෙනෙක් ඕනි කියලත් ඉල්ලාසිටියා.ඒත් එයාල ගෙන්වලා තිබුනෙ ජපන් ගැහැනු කෙනෙක් අනේ ඒ මනුස්සයා සමහර සින්හල වචන දන්නෙත් නෑ..!
මන් කිව්වා මට වෙන translator කෙනෙක් හරි ඔනී කියලා. ඒ මිනිස්සු කිව්ව එහෙනම් ලබන සදුදා එන්න කියලා..! මන් කාගෙන්ද සාදාරනයක් ඉල්ලන්නේ දෙවියනේ…අනේ කිසිම තැනකින් සාදාරනයක් වෙන්නෙ නෑනේ මගේ අයියට…!අනේ පුලුවන් හැමෝම පුලුවන් විදියට මට උදව් කරන්නකෝ…පින්සිද්දවෙනවා අනේ.. මගේ අයියට සාදාරය යුක්තියක් ඉටු කරගන්න මට ශක්තියක් වෙන්න…!!!”
කාර්මික පාඨමාලාවක් හැදෑරීම සඳහා 2023 වසරේදී ජපානයට ගිය විචක්ෂණ අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදීය. මිතුරන් පිරිසක් සමග වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම් කළ බවට එහි හිමිකරු විසින් එල්ල කරන ලද චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවට ඇතැම් වාර්තා පළ වුවද, අත්අඩංගුවට ගැනීමට සැබෑ හේතුව ජපාන බලධාරීන් විසින් තමන් වෙත නිල වශයෙන් දැනුම් දී නොමැති බව ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒ බව තානාපති කාර්යාලයට දැනුම් දීමට තරුණයා කැමැත්ත ලබා දී නොතිබූ බවත්, කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා පවුලේ ඥාතීන් සම්බන්ධ කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දේහය ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා පූර්ණ සහය ලබා දෙන බවත් බලධාරීහු තහවුරු කරති.
බාහිර තුවාල කිසිවක් නොමැති බැවින් මෙය සියදිවි නසාගැනීමක් බවට සැක කළ නොහැකි බව පවසන ජපාන පොලිසිය, මරණයට නිශ්චිත හේතුව සෙවීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
එහෙත් මරණය පිළිබඳව පැමිණිලි කිරීමට ගිය නැගණියට පොලිසිය තුළදී සිංහල නොදන්නා පරිවර්තකයෙකු යොදවා දින ගණනාවක් රස්තියාදු කරවීම තුළින් මතුවන්නේ ජපාන නීතියේ ක්‍රියාකාරීත්වය සහ විනිවිදභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයකි. මෙම ඛේදවාචකය, 2021 වසරේදී ජපාන ආගමන විගමන රැඳවුම් කඳවුරක් තුළ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව රුධිරය වමනය කරමින් අවාසනාවන්ත ලෙස මියගිය විශ්මා සඳමාලි නම් ශ්‍රී ලාංකික තරුණියගේ අඳුරු මතකය යළිත් වරක් සමාජය හමුවේ අවදි කරවයි.
වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් මහ සයුරෙන් එතෙරට පියඹා ගිය තවත් එක් තරුණ ජීවිතයක්, නීතියේ සහ මානුෂිකත්වයේ සීතල බිත්ති හතරක් මැද කිසිදු හඬක් නොනැගීම සදහටම වියැකී ගොස් අවසන්ය.
2026 මැයි 27, ප.ව. 5:33
2026 මැයි 27, ප.ව. 4:49
2026 මැයි 27, ප.ව. 3:50
2026 මැයි 27, පෙ.ව. 12:07
2026 මැයි 26, පෙ.ව. 12:04
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26