hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 30, ප.ව. 3:57



අනුරාධපුර කුරුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ගොවියකුගේ මරණයෙන් පසුව පැවැති බණ පින්කමට වැඩම කළ හිමි නමකට ගමේ පන්සලේ පදිංචි හිමි නමක් සහ මැර පිරිසක් පහර දී ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ හිමිනම ගැටුම බේරීමට ගිය කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ද මැර පිරිසගේ පහර කෑමට ලක්ව කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

මීට සතියකට පමණ පෙර කුරුලුගමේ පදිංචි චමින්ද ප්‍රියන්ත නමැති ගොවි මහතකු පොළඟකු දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇති අතර ඔහුගේ අවමගුලේ ආගමික වතාවත් කිරීම ගමේ පන්සල ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.

චමින්දගේ නිවසින් ගමේ පන්සලට දන් වේල් පහක් අතපසු කර ඇති නිසා මළගෙදර පින්කම්වලට පැමිණිය නොහැකි බවත් ඊට හිලව් වශයෙන්රු රුපියල් 45,000ක් දෙන්නේ නම් බණට වැඩම කළ හැකි බවත් ගමේ පන්සලේ  නාහිමියන් තමන්ට දැන් වූ බවත් චමින්දගේ ඥාතීන් කළ පැමිණිල්ලේ සඳහන් වන බව ද කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

ඉන්පසුව අවට පන්සල් කීපයකටම ආරාධනා කළ ද කිසිදු හිමිනමක් නොපැමිණි නිසා වාහල්කඩ ඉස්සන්වැව, ඉසිගිලිකන්ද නිකසල ආරණ්‍යයේ වැඩවසන පදවියේ විජිත බුද්ධි හිමියන්ට ආරාධනා කර බණට වඩම්මවා ගත් බවත් ධර්ම දේශනාකර නැවත පන්සලට යෑමට සූදානම් වූ අවස්ථාවේ උන්වහන්සේට මැර පිරිස පහර දී ඇති බවත් ඔහු කීය.

පොලිසිය පැමිණිය ද මැර පිරිස පාලනය කරගත නොහැකි වූ නිසා අහසට වෙඩි තැබූ බව ද පොලිස් නිලධාරියා පැවසීය. මේ පිළිබඳව කළ විමසුමක දී පහරකෑමට ලක්වූ විජිත බුද්ධි හිමියෝ මෙසේ කීහ.

“දන්වේල් 5ක් දෙන්න බැරි වුණා කියලා කුරුලුගම ගමේ පන්සලේ නායක හාමුදුරුවන් ඇතුළු දායක සභාව රුපියල් හතළිස් පන්දහසක් මේ අයගෙන් ඉල්ලලා තියෙන බව මම දැනගත්තේ පස්සේ. මැර පිරිස පහර දීපු හින්දා මගේ ඇගපත ඔක්කොම රිදෙනවා. මාත් එක්ක පොලිස් නිලධාරී මහත්තුරු දෙන්නෙකුත් රෝහලේ නතර වෙලා ඉන්නවා. කුරුලුගම ගමේ විහාරස්ථානයේ නායක තරුණ හාමුදුරුවන් එක්ක ආපු පිරිස හොඳටම බීමත්ව හිටියේ. මම හෘදයබාධ, වකුගඩු, රුධිර පීඩන රෝගියෙක්. කැබිතිගොල්ලෑවේ පොලිසිය නොසිටින්න අද මගේ ජීවිතය කුරුලුගම ගමේදීම ඉවරයි ” යැයි ද පැවසූවා.

මෙම සිදු වීමෙන් පසුව රෝහල් ගතවී සිටින කුරුලුගම රජමහා විහාරාධිපති රංජිරාවේ සුගතවංශ හිමියන්ගෙන් කළ විමසීමක දී මාධ්‍යයට තොරතුරු දීමට නොහැකි බව පැවසූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ විමර්ශනයක් කරන බව කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: