hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 8:09



ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් කෙරුණු පරීක්ෂණයකදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේදී සියයට 42කින් පමණ වැඩිවී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක් (සිවු දෙනකුගෙන් යුතු) මාසයකට රුපියල් 28,000 බදු මුදලක් රජයට ගෙවන බව එම පරීක්ෂණයේදී තොරතුරු හෙළිවූයේ යැයි මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

භාණ්ඩ මිල ඉහළයාම නිසා ජනතාව මත පැටවුණු වක්‍ර බදු බර 2021 සිට 2022 දක්වා කාලයේදී තුන ගුණයකින් පමණ වැඩිවී ඇතැයි සඳහන්.

සාමාන්‍ය පවුලක් මාසයකට ගෙවන වක්‍ර බදු ප්‍රමාණය රජයේ නව බදු සංශෝධන හේතුවෙන් රුපියල් 4000 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළා.   

ජාතික දරිද්‍රතා මායිමේ සිටින පවුලක් මේ වසරේ ජුලි මාසයේදී රුපියල් 3900ක වක්‍රබදු ප්‍රමාණයක් මාසිකව ගෙවූ බවත් ඒ අනුව එම පවුලක් දිනකට රජයට ගෙවූ වක්‍ර බදු ප්‍රමාණය රුපියල් හාරසිය හැටක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට (පවුල් පන් ලක්ෂ හැත්තෑ දහසක්) රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා සමෘද්ධියෙන් රුපියල් 4500ක් ලැබුණද මේ වක්‍ර බදු ප්‍රමාණය නිසා ඔවුන් රුපියල් 2,200ක පමණ ශුද්ධ අලාභයක් ලබන බවද සඳහන් කළා.

එම දුප්පත් පවුල්වලින් රජය මාසිකව වක්‍ර බදු ලෙස ලබාගන්නා මුදල් ප්‍රමාණය ඔවුන්ගේ ආදායමෙන් සියයට නවයක් බවද ඔහු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: