hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 4:03



ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වන විට ආනයන වියදම අඩු වීම ප්‍රතිශතාත්මකව ඉහළ යමින් පවතින බවයි.

2021 වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසය වන විට ආයනයන වියදම 25%කින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මීට අමතරව අපනයන ද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව හෙතෙම අවධාරණය කරනවා.

2021 වසරේ අගෝස්තු මාසයට සාපෙක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම 90%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2022 අගෝස්තු 31 වන විට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් ලෙස සටහන් විය. එම කාලය තුළ රටේ සමස්ත වියදම ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 3539ක්.

මේ අනුව ගත් කළ ආදායම ඉහළ නැංවිය යුතු යන ස්ථාවරය පක්ෂ විපක්ෂ සියලු දෙනා පිළිගන්නා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දැනට 8%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11% දක්වා ඉහළ නැංවිය යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා එහි දී රටේ අඩු ආදායම්ලාභී ජනතාවට කිසිදු අතිරේක පීඩනයක් එල්ල විය යුතු නැති බව ද කියා සිටියා.

ඒ අනුව අවම වශයෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: