2024 ජූනි 24, ප.ව. 1:35
අධික උෂ්ණත්වය හේතුවෙන් මෙවර හජ් වන්දනාවේ යෙදුණ 1300 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සවුදි අරාබියානු බලධාරීන් පවසනවා.
සවුදි සෞඛ්‍ය ඇමති ෆාඩ් බින් අබ්දුර්රහ්මන් අල්-ජලායෙල් පවසා සිටියේ මෙම පිරිසෙන් සියයට 85 ක් නිසි අවසරය නොමැතිව වන්දනාවේ පැමිණ දිගු දුරක් පාගමනින් පැමිණ ඇති බවයි. ඉන් බොහෝ දෙනෙකු හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඔවුන් අත ඒ සඳහා ලියකියවිලි නොවූ බවත් ඔහු පවසනවා.
මේ අතර අමාත්‍යවරයා කියා සිටියේ වන්දනාකරුවන් 95 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. එයින් ඇතමෙක් ගුවන් මගින් රියාද් නගරය වෙත යවන ලද බව ද ඔහු කියා සිටියා.
මියගිය අය අතර ඊජිප්තු වැසියන් 660 කට වැඩි පිරිසක් සිටින බවයි සඳහන් වන්නේ. නිසි පටිපාටියෙන් තොරව අනවසරයෙන් වන්දනාකරුවන් පිටත් කළ ඒජන්සි 16 ක බලපත්‍ර තහනම් කළේ යැයි ඊජිප්තුව නිවේදනය කර තිබුණා.
නිසි ක්‍රමවේදය අනුව 50,000 ක පමණ වන්දනාකරුවන් ඊජිප්තුවේ සිට මෙම වසරේ හජ් වන්දනාව සඳහා පැමිණ තිබෙන අතර වෙනත් ක්‍රමවලින් ද බොහෝදෙනා පැමිණ ඇතැයි විශ්වාස කෙරෙනවා. ඔවුන් මෙසේ පැමිණ ඇත්තේ සාමාන්‍ය සංචාරක වීසා ලබාගෙනයි. හජ් වන්දනාව සඳහා විශේෂ වීසා අවසරපතක් ලබාගත යුතුයි. මෙසේ අන් ක්‍රමවලින් පැමිණෙන්නන් පාගමනින් බොහෝ දුර ගෙවා එන අතර ඔවුන්ට නවාතැන් ද ලැබෙන්නේ නැහැ. එහෙයින් දැඩි අව් රශ්මියෙන් ගැලවී සිටින්නට නිවහනක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ.
මෙම වසරේ වාර්තා වූ මරණ අතර ඉන්දුනීසියානුවන් 165 ක්, ඉන්දියානුවන් 98 ක් සහ වෙනත් රටවල් ගණනාවක අය වුණා. කලින් සඳහන් කළ පරිදි ඇතැමුන් හඳුනාගත නොහැකි වූ බවයි සඳහන් වන්නේ. මියගිය අය මක්කම දී වළදැමූ බව සවුදි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
හජ් වන්දනා සමයේදී මරණ වාර්තා වීම නුහුරු කරුණක් නොවේ. වසරකට මිලියන දෙකක පමණ ජනතාවක් මෙම දින පහක වන්දනා සමය තුළ මෙහි පැමිණෙන අතර රෝග පැතිරීම, සෙනග අතර තෙරපීම ආදියෙන් ද විශාල පිරිස් මියයන අවස්ථා තිබෙනවා.
2026 පෙබරවාරි 04, ප.ව. 2:44
2026 පෙබරවාරි 03, ප.ව. 12:51
2026 පෙබරවාරි 03, ප.ව. 12:37
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39