hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 22, පෙ.ව. 8:50



අගෝස්තු මාසේ පළමුවැනිදා සිට සැප්තැම්බර් මාසයේ 15 වන දා දක්වා මෙරට වී අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ කරන බැවින් ඒ සඳහා කඩිනමින් ඉන්ධන ඩීසල් ලීටර් කෝටි දෙකක් එනම් දහතුන් දහස් දෙසීයක් බැගින් වූ බවුසර් 1500 අවශ්‍ය වන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පවසනවා.

එය කඩිනමින් කළමනාකරණය නොකළහොත් රටේ බරපතළ ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවයි ඔහු ඊයේ(21) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූවේ

කිසිදු අයෙකුගේ අවධානය යොමු නොවූ කරුණක් පිළිබඳව රජයේ වගකිව යුතු අයගේ අවධානය යොමු කිරීම සඳහා මුදිත පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුව ඊයේ දඹුල්ල ප්‍රදේශයේ දී පැවැත්වීමට තීරණය කර තිබුණා.

එහිදී අදහස් දැක්වූ මුදිත පෙරේරා මහතා කියා සිටියේ මෙවර වී වගාව හෙක්ටෙයාර් ලක්ෂ හතරක පමණ සිදු කොට තිබෙන බවයි.

ඒ සඳහා එක හෙක්ටයාර්යක වී අස්වැන්න නෙලීමට ඩීසල් ලීටර් 50ක් පමණ ප්‍රමාණයක් වැයවන බව ද පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ ඒ අනුව අගෝස්තු පළමුවැනිදා සිට සැප්තැම්බර් 15 වැනි දා දක්වා වී අස්වැන්න කඩිනමින් නෙලා ගැනීමට නම් ඉන්ධන ලීටර්  දෙකෝටියක් අවශ්‍ය වන බවයි.

 නත් බෝග මෙන් නොව වී වගාව සඳහා සීසෑම ආදී ඕනෑම දෙයක් ප්‍රමාද කළ හැකි නමුත් වී අස්වැන්න නියම කාලයට නියම දිනයට ලබා නොගත්හොත් ඉදිරියේ දී එන වර්ෂාවත් සමග එම අස්වැන්න විනාශ වන බවද ඒ මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම අස්වැන්න නෙළන සමයේ වී ගොවීන් තෙල් පෝලිම් වල රස්තියාදු කර වීමකින් තොරව මෙම ක්‍රියාවලියට අද සිටම අවධානය යොමු කොට අත්‍යවශ්‍ය නොවන වෙනත් අංශවල කප්පාදුවක් කර හෝ වී අස්වැන්න නෙලළීම සඳහා ඉන්ධන වෙන්කරවා ගැනීමට දින 40 ක පමණ කාලයක් රජයට පවතින බවද ඔහු අවධාරණය කළා.

කුමන කාරණා තිබුණද කුසගින්න සහ ආහාර හිගයක් ඇති වුවහොත් ඊට විසඳුමක් ලබාදීමට නොහැකි වන බව ද පෙන්වා දෙන ඒ මහතා අඩුම තරමේ දිවයිනේ ඇති සමුපකාර ඉන්දන පිරවුම්හල් වලින් හෝ ගොවීන්ගේ අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් සූදානම් කළ යුතු බවද කියා සිටියා.

එසේත් නොමැතිනම් බවුසර් මගින් ඔවුන්ගේ කුඹුරු වලට හෝ ඉන්ධන ලබා දීම සිදුකිරීම කළහොත් මෙරට ආහාර අර්බුදයට විශාල දායකත්වයක් ලැබෙන බවද ඒ් මහතා සඳහන් කා.

එමෙන්ම මේ වන විට සහල් ප්‍රවාහනය සඳහාද ඉන්ධන අර්බුදය ඍජුව බලපා තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.

දඔුල්ල – කාංචන කුමාර