hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 26, පෙ.ව. 6:35



මේවන විට ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල රැඳී සිටින ජනතාවගේ බලාපොරොත්තු කඩ වී තිබෙනවා.

ඒ ඉන්ධන රැගත් නෞකාව දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම නවතින තත්වයක් තුලයි.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කර සිටියේ මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බවයි.

බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත එම තත්වය උදා වී ඇති බවයි ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

ඉන්ධන දෙන්නේ ප්‍රමුඛත්වයට

මින් පෙර අදාළ සැපයුම්කරුවන් විසින් ඩීසල්, පෙට්ට්‍රල් සහ බොර තෙල් සැපයුම් මෙම සතිය තුලදී ලබා දෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණෙන තෙක් සහ ඉන් පසුව අදාළ ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 

පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින බවත් ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

තෙල් පිරිපහදුව වසා දමයි

එමෙන්ම මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමන බවද ඔහු දන්වා සිටියා.

සිදුවූ ප්‍රමාදය සහ අපහසුතාවයට තමන් සමාව අයදින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ඊයේ(25) දහවල් 12.00 සිට නවතා දමා ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ දක්වා තම ඇනවුම් කිසිවක් භාරගෙන නොමැති බවද එම සංගමය සඳහන් කළා.

තෙල් ආනයනය නතර වෙයි

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මේවන විට ලංකාවට ඉන්ධන ආනයනය නතර වී ඇති බවයි.

ඛනිජ තෙල් අමාත්‍යවරයා 23 වනදා ඩීසල් නැවක් සහ පෙට්‍රල් නැවක් ලංකාවට එන බව ප්‍රකාශ කළ බවත් අද වන විටත් එම තෙල් නැව ලංකාවට පැමිණ නැති බවත් ඔහු පෙන්වා දුන්නා.

විශේෂයෙන් මේවන විට එම නැව ලංකාවේ සීමාව පසුකොට ක්‍රිෂ්න පට්නම් ප්‍රදේශයට ගමන් කර ඇති බවත් ඒ අනුව ලංකාවට පැමිණ ඉන්ධන නෞකාව දැන් තිබෙන්නේ ඉන්දියාවේ බවත් අනුර කුමාර මහතා හෙළිදරව් කළා.

එය නිසි ටෙන්ඩර් පටිපාටියකින් මිලදී ගත් ඉන්ධන නැවක් නොවන බව සඳහන් කළ ඒ මහතා හදිසි ගැනුම්කරුවන් හරහා මුහුදේ තිබූ නැවක හරවා ගත් එකක් බවත් එනිසා කොළඹ වරායට එයිද නැද්ද යන්න සැකයක් මතුව ඇති බවත් කියා සිටියා.

එනිසා මුළු රටම නතර වීමේ අභියසක සිටින බවද ඔහු අවධාරණය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: