hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 20, පෙ.ව. 12:18



ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන සිදුකිරීමට බාධා පමුණුවන මෙරට පවතින යල්පැනගිය නීති රීති කඩිනමින් සංශෝධනය කිරීමටත්, බැංකු ක්ෂේත්‍රය ඇතුළු ආයෝජන ආශ්‍රිත සියලු රාජ්‍ය ආයතනයන්හි පුළුල් ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදුකිරීමටත් රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ප්‍රකාශ කරයි.

බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සමගාමීව මෙරටට පැමිණි ප්‍රමුඛ පෙළේ ජපන් ව්‍යාපාරික නියෝජිත පිරිසක් සමඟ පැවති විශේෂ හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක රන්වල පෙන්වා දුන්නේ, වත්මන් රජය විසින් ස්ථාපිත කර ඇති දූෂණයෙන් හා වංචාවෙන් තොර විනිවිදභාවය හේතුවෙන් ජපන් ආයෝජකයින් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට ඉහළ උනන්දුවක් හා කැමැත්තක් දක්වන බවයි.

පසුගිය පාලන සමයන්හිදී මෙරටට පැමිණි විදේශීය ආයෝජකයින් විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවලට, අතරමැදියන්ගේ වංචාවලට මෙන්ම අක්‍රමිකතාවලට ගොදුරු වූ බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, ආයෝජනය කළ මුදල් පවා අහිමිවී ඒවා යළි ලබාගැනීමට අධිකරණ හමුවේ නඩු කීමට සිදුවීම ජාත්‍යන්තරය හමුවේ රටක් ලෙස මහත් ලැජ්ජාවට කරුණක් බව පැවසීය.

කෙසේ වෙතත්, වත්මන් පාලනය යටතේ කිසිදු ආයෝජකයකුට දේශපාලනඥයන්ගේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ සාක්කු පිරවීමට හෝ කොමිස් මුදල් ලබාදීමට අවශ්‍ය නොවන බවත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා ඕනෑම තරාතිරමක පුද්ගලයකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන පූර්ණ සුරක්ෂිත ආයෝජන පරිසරයක් රට තුළ තහවුරු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: