hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 30, ප.ව. 1:13



බණ්ඩාරගම අටුළුගම ආයිෂා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන සාක්ෂි රැසක් විනාශ වී ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

මළ සිරුර තිබූ මඩ ගොහොරුවේ විවිධ පුද්ගලයන්ගේ පාවහන් 100කට අධික සංඛ්‍යාවක් තැන තැන විසිරි තිබෙන බවත් එම නිලධාරියා පැවසුවා.

මළ සිරුර දැකීමත් සමගම ලදු කැලෑව සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිස හා එම ආරංචිය සැල වී පැමිණි විශාල ගම්වාසීන් පිරිසක් ලදු කැලෑව තුළට විවිධ ස්ථානයන් තුළින් ඇතුළු වී මළ සිරුර දැක බලා ගැනීමට පැමිණීම හේතුවෙන් දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු හෝ කීපදෙනා අත්අඩංගුවට ගැනීමට තිබෙන පහසුම අවස්ථාවන් මගහැරී ඇති බව එම නිලධාරියා සඳහන් කළා.

මේ හේතුවෙන්  දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට සිදුව ඇතැයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර අටුලුගම 9 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිසිය පවසනවා.

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට 27 වනදා උදේ 10.00ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට නොපැමිණි අතර පෙරේදා (28) දිනයේ නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ෆාතිමා අයිෂා දැරියට සිදු කළ අපරාධය සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.