hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 10:19



අනුරාධපුර අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ගමනාගමන පහසුව සඳහා බස්රථ සේවාවක් ඊයේ (30) දින ආරම්භ කෙරුණේ , අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ ඇතුළු අටමස්ථානයේ විහාරාධිකාරී නායක හිමිපාණන් වහන්සේලාගේ වැඩමවීමෙනි.

මේ අනුව ප්‍රවාහන , මහා මාර්ග  හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් මෙම බස්රථ සේවාවේ සමාරම්භය සටහන් කළා. 

අටමස්ථානයට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කරගත් දුම්රිය – බස්රථ ඒකාබද්ධ සේවාව ලෙස මෙය නම්කර තිබෙනවා.

ඒ අනුව දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස දක්වා රුපියල් 50 ක මුදලක් ගෙවා මෙම සේවාව ලබාගත හැකියි.

අනුරාධපුර දුම්රිය ස්ථානයට පැමිණෙන සෑම දුම්රිය වාරයකින් පසුව ම මෙම බස්රථය උඩමළුව දක්වා ධාවනය කෙරෙනවා.

සිකුරාදා , සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළ සහ පොහොය දිනවල දී පමණක් මෙම සේවාව ක්‍රියාත්මකයි. 

මෙම බස්රථ සේවාව ආරම්භ කිරිම වෙනුවෙන් වූ උත්සවය පැවැත්වුණේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී යි.

එහිදී අනුශාසනා කළ අති ගෞරවනීය අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් සඳහන් කළේ බැතිමතුන්ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සේවාව ආරම්භ කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් තමන් වහන්සේ කරන ලද ඉල්ලීම මෙලෙස ඉටු කිරිම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ සියලු දෙනා වෙත ආශිර්වාද කරන බවයි.

මෙම බස්රථ සේවාව ආරම්භ කිරිමට ගත් උත්සාහයන් වලදී ත්‍රීරෝද රථ හිමියන්ගෙන් විරෝධතා මතු වූ බවත් එහෙත් පළමු වගකීම වන්නේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරිම බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

ත්‍රීරෝද රථ හිමියන්ට ද තම සේවාව සිදුකර ගැනිමට වෙනම ම ස්ථානයක් වෙන්කර දීම සුදුසු බව ද අටමස්ථානාධිපති නායක හිමියෝ සඳහන් කර සිටියා. 

අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ විසින් මෙම බස් රථ ධාවනය සිදුකිරිම යම් කාලයකට පමා වීම පිලිබඳව තමන් වෙත දෝෂාරෝපණයකින් කතා කළ බවත් උන්වහන්සේගේ ඉල්ලීම පිළිගනිමින් මෙලස මෙම සේවාව ආරම්භ කිරිමට හැකිවිම පිළිබඳව සතුටට පත්වන බවත් උත්සව සභාව අමතමින් කතා කළ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මෙම සේවාව නිසි පරිදි සිදුකරගෙන යාමට නොහැකි වන අන්දමේ අවහිර කිරීම් සිදුකරන්නට කිසිවකුත් නොපෙළඹිය යුතු බවත් යම් හෙයකින් එබදු බලපෑම් ඇතිවුව හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් උපරිම තීරණ ගන්නා බවත් මෙහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කෙරුණා.

අමස්ථානය වන්දනාව බයෙන් සැකෙන් තොරව සිදුකර ගැනීමට ඉඩකඩ නොමැති නම් එහෙම රටක අපි ජීවත් වෙලා වැඩක් නැහැ, එම නිසා මෙම දුම්රිය බස්රථ ඒකාබද්ධ සේවාව සාර්ථකව ක්‍රියාත්මක විය යුතුයි යනාදී වශයෙන් ද අමාත්‍යවරයා සිය අදහස් ඉදිරිපත් කර සිිටියා. 

රටෙහි වත්මන් ආර්ථික තත්ත්වය පිිලබඳව කතා කළ අමාත්‍යවරයා සදහන් කළේ , දැනට රජයට ලැබෙන ආදායමෙන් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවා සහනාධාර ආදිය ලබාදීමෙන් පසුව ඉතිරි වන මුදල  රට ලබාගෙන ඇති ණයවල පොළිය ගෙවීමටවත්  ප්‍රමාණවත් නොමැති තත්ත්වයක් පවතින බවයි.

එම නිසා වැටී තිබෙන රට ගොඩනැගීමට හොරකම, වංචාව හා අක්‍රමිකතාවලින් තොරව අවංකව වැඩි වැඩියෙන්  වැඩකිරිම සිදුකළ යුතු බවයි.

එසේ කළ හොත්  සියලුදෙනාටම ගොඩනැගීමේ හැකියාව ද තිබෙන බවයි.

ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර වැටලීම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම නිසා ඔවුන් විසුරුවා හැර කෙටි කාලයක් වෙනත් ආකාරයකට වැටලීම් කටයුතු සිදුකල බවත් ඉන් පසුව අනුරාධපුර ඩිපෝවෙහි ආදායම දිනකට ලක්ෂ 13කින් වැඩි වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. 

බස්රථ රථ සේවාව ආරම්භ කිරිමේ උත්සවයෙන් පසුව විවෘත කළ බස්රථයට නැගී අටමස්ථාන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙන්ම අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිස අටමස්ථානය දක්වා ගමන් කරනු ලැබුවා. 

මෙම බස්රථ සේවාව ඉදිරියේ දී උඩමළුව දක්වා පමණක් නොව අටමස්ථානයේ වෙනත් විහාරස්ථාන දක්වා ද ව්‍යාප්ත කිරිමට අපේක්ෂිතයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: