hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 28, පෙ.ව. 8:53



මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලේදි විසිහතර හැවිරිදි මව ප්‍රසූත කරනු ලැබුයේ මළ දරුවෙකු බවත් එම මළසිරුර රෝහලේ මෘතශරිරාගාරයේ ඇති බවත් රෝහල් බලධාරින් ප්‍රකාශ කරයි.

පසුගිය (22 වැනිදා) සිය මළ දරුවා ප්‍රසූත කිරිම සඳහා කොටවිල නව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් වි ඇත්තේ ඇයගේ පෞද්ගලික වෛද්‍යවරයා කළ දැනුම්දීමක් මත බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.

රෝහලට ඇතුළත් වීමට දිනකට පමණ ඉහතදි මව පරීක්ෂා කළ පෞද්ගලික වෛද්‍යවරයා කළ ස්කෑන් පරීක්ෂණයකදී ඇගේ කුස තුළ සිටින දරුවාගේ හෘදය ක්‍රියා නොකරන බවත් දරුවා මියගොස් ඇති බවත් තහවුරු වී ඇත.

ඒ අනුව එම වෛද්‍යවරයා දැනුම් දි ඇත්තේ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් මෙම මළදරුවා ප්‍රසුත කිරීම සඳහා රෝහල් ගතවන ලෙසය.

ඒ අනුව අදාළ මව කොටවිල රෝහලට ඇතුළත් වී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය මළදරුවා පිටතට ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ මවට ලබා දී තිබෙනවා.

ඒ අවස්ථාවේදි මව මෙම බිලිදා කුස තුළ මියගොස් ඇති බවට පිළිගෙන ඇති බවත් එම මළදරු ප්‍රසුතිය සිදුකිරීම සඳහා තමා අවසර දෙන බවටත් අදාළ ලිපි ලේඛනවලට සිය අත් අකුරෙන් ලියා අත්සන් තබා ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

පසුව 24 වැනිදා අලුයම් කාලයේ මෙම මව සිය මියගිය දරුවා ප්‍රසූත කරඇති අතර ඒ වනවිටත් කළලය තරමක් නරක් වී තිබි ඇත.

ඒ වනවිට බිලිදාගේ වයස සති තිස්හයක් බව තහවුරු වී තිබෙනවා.

පසුව එදින දහවල් කාලයේ බිලිදාගෙ සිරුර භාරගැනීම සඳහා ඥාතින් කිසිවකු ඉදිරිපත් නොවී ඇති අතර විසිපස්වැනිදා (25) පස්වරුවේ ඥාතින් පැමිණ මළසිරුර ඉල්ලා තිබෙනවා.

මළසිරුර ඥාතින්ට අවශ්‍ය බවට නිසි සන්නිවේදනයක් රෝහල් කාර්ය මණ්ඩලය අතර සිදුව නොමැති තත්ත්වයක් මත බිලිඳාගේ මළසිරුර ඒ වනවිට භාරකරුවන් නොමැති අනෙකුත් සිරුරු සමග අදාහනය කිරීම සඳහා රැගෙන යන ලොරිය වෙත රෝහල් මෘතශරිරාගාරයෙන් මුදාහැර ඇත.

පසුව ඥාතින් සිරුර ලබාදෙන ලෙස කළ ඉල්ලීම මත බිලිදාගෙ මළසිරුර නැවත රෝහලේ මෘතශරීරාගාරය වෙත ලොරියේ සිට ගෙන්වා යළි මෘතශරිරාගාරයේ තබා ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

මේ වනවිට බිලිදාගේ මව්පියන් කරන ලද පැමිණිල්ලකට මෙම දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැමිණ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට කටයුතු කරන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.

එහිදී ඩීඑන්ඒ පරික්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව නියෝග කරන්නේ නම් එම ඩීඑන්ඒ පරික්ෂණය සිදු කරනා බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: