hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:17



ඉදිරියේදී මගී ප්‍රවාහනය සිදුකරන බස් රථ, කාර්ය මණ්ඩල ප්‍රවාහනය සිදුකරන බස් සහ වෑන් රථ එමෙන්ම පාසල් ප්‍රවාහනයේ හා දුරගමන් චාරිකා වල යොදවන රථ යනාදිය  කිලෝමීටර් 5000ක ගමන් දුර ඉක්මවීමට පෙර හෝ මාස තුනකට අඩු කාලයකදී  සාමාන්‍ය මට්ටමේ රථ වාහන යෝග්‍යතා සහතිකයක් එනම්  (Roadworthiness Test Certificate) එකක් ලබා ගත යුතු බව ප්‍රවාහන , මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම යෝග්‍යතා පරීක්ෂණය සාමාන්‍යයෙන්  අවුරුද්දකට එක්වරක් සිදුකරන යෝග්‍යතා පරීක්ෂණය මෙන් මිල අධික එකක් නොවන බවයි.

විවධ තැන්වල මිලගණන්  වෙනස් වූවත් සාමාන්‍යයෙන්  රුපියල් 1500 – 2000ත් අතර මිල සීමාවකදී ලංකාව තුළ මෙම  පරීක්ෂණය සිදු කර ගත හැකි බව බිමල් රත්නායක මහතා සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ  පසුගිය අවුරුද්දේ මැයි මාසයේ කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් අනතුර, ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික අනතුර යනාදී සිද්ධීන්වල දැකිය හැකි පොදු ලක්ෂණයක් නම්   තිරිංග නිසිපරිදි ක්‍රියා නොකිරීම  යන්න  බවයි.

එම   මාරක  අනතුරක් සම්බන්ධව පසුව කළ විමර්ශනයකදී  ඉන් එක් වාහනයක එක් පැත්තක මුළු අවුරුද්දක් පුරාවටම  තිරිංග වසා දමා ඇති බව  පරීක්ෂණවලින් තහවුරුකරගත්  බවට  අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු සඳහන් කළේ මෑතකදී පොලීසියෙන් අත්අඩංගුවට ගත් ඇතැම් වාහනවල බ්රේක් හෝස් සාදා ඇත්තේ මල්පැලවලට වතුර දමනා හෝස් බට වලින් බවයි.

මිනිසුන්  දුර ගමන්  චාරිකා යන්නේ විනෝදාස්වාදය ලබා ගැනීමේ අරමුණින් බවත් නමුදු එම විනෝද චාරිකාව  ඛේදාන්තයකින් අවසන් වීම සිදු නොවිය යුතු කරුණක් බව බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම යෝග්‍යතා පරීක්ෂණය හේතුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම හතරවන අදියර සම්පූර්ණ කළ  (NVQ 4)  ඕනෑම අයෙකුට පිළිගත් ගරාජයක ලියාපදිංචි වී මෙම  පරීක්ෂණය සිදු කළ හැකි නිසා  මෝටර් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථාවන් විවර වන බවයි.

“අද මේ ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන යෝජනා දෙකේ අරමුණ මම කෙටියෙන් කියන්නම්. එකක් තමයි කතානායකතුමනි අපේ අනිත් මන්ත්‍රීතුමාලා ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමාලා ඒගොල්ලෝ තව කරුණු විශාල වශයෙන් පැහැදිලි කරාවි. පළවෙනි එක තමා අද අපි ගැසට් එකක් ඉදිරිපත් කරලා ඒක පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න බලාපොරොත්තු වෙනවා.

එයින් එකක් තමා අපි යෝජනා කරලා තිබෙනවා මගී ප්‍රවාහනයේ නිරත වෙන බස්රථ, වෑන්රථ කවුරුහරි කෙනෙක් මගී ප්‍රවාහනයේ නිරත වෙනවානම් පුද්ගලික වාහනවලට අයිති වෙන්නේ නෑ. පුද්ගලික තමන්ගේ ගමන් යන වාහනවලට අයිති වෙන්නේ නෑ. ඒවත් කරගත්තට කමක් නෑ. නමුත් මගීන් ප්‍රවාහනය කරනවා නම් බස් හරි, ඔෆිස් හරි, ස්කූල් වෑන් හරි ට්‍රිප් එකක් ගියා උනත් අනිවාර්ය වශයෙන්ම අන්න එවැනි වාහන කිලෝමීටර් පන්දාහකට අඩුවෙන් හෝ මාස තුනකට අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ සහතිකයක් ලබා ගත යුතුයි කියන එක. Roadworthiness Test එකක් කරගන්න ඕනි කිලෝමීටර් 5000කට අඩුවෙන් ඒක ඉක්මවන්න කළින්.

සාමාන්‍යෙයන් අපි අවුරුද්දකට සැරයක් කරන . Roadworthiness Test එක නෙමෙයි ඒක ටිකක් Comprehensive එකක්. මේක ඊට වඩා අඩු එකක් තියෙන්නේ. මිල ගණන් අනුව ගත්තත් ගරාජ් එහෙකින් එක එක ඉලක්කම් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අදහස රුපියල් 1500කට 2000කට වගේ සීමාවකදී මේක කරගන්න පුළුවන් කියලා. Test කීපයක් කරගැනීම අවශ්‍යයි කියන එක.

ඒකට හේතුව තමයි අපි මෑතකදී දුටුවා බොහෝ ප්‍රධාන වාහන අනතුරුවලදී මුලින්ම 2025 මැයි වල ඔය කොත්මලේ සිද්ධිය ගත්තත්, ඊටපස්සේ ඇල්ලේ සිද්ධිය ගත්තත් අපිට බොහෝ වෙලාවට මේ වන දෙයක් තමයි මගී ප්‍රවාහනය කරන ට්‍රිප් හරි මොනව හරි යන බස් රථ ඒවා හරි ආකාරව අඩු ගාණේ බ්රේක්වත් හදාගෙන නෑ. එක බස් එකක Examination report එක තියෙනවා අපේ මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරයි ඒක.

ඒ Examination report එකේ තියෙනවා ගරු කතානායකතුමනි එක බස් එකක ඔය වැටිච්ච බස් එකක අවුරුද්දක් තිස්සෙම එක පැත්තක බ්රේක් වහලා තියෙන්නේ. ඔබතුමා වාහන පදවන කෙනෙක් නිසා දන්නවා එතකොට ඒවා හදලා නෑ. මේ ළගදී අපි දැක්කා පොලීසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා අර බ්රේක් හෝස් එක හදලා තියෙන්නේ මල්වලට වතුර දාන හෝස්වලින්. ඉතින් ඒ වගේ අන්තිම නොසැලකිල්ලකින් තමයි ගෙනියන්නේ.

මිනිස්සු ට්‍රිප් යන්නේ සතුටුවෙන්න. සල්ලි දීලා යන්නේ. ඉතින් එතකොට අපරාදේ ජීවිත නැතිවෙනවා ඒ වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ මෑත කාලයේ රිය අනතුරක් වුණා. ට්‍රැක්ටර් ට්‍රේලරයේ ගියපු පස්දෙනෙක් එතන නැතිවුණා. තව විශාල අනතුරක් වුණා. ඒකට හේතුව ට්‍රැක්ටර් ට්‍රේලරයේ කිසිම ලයිට් එකක් නෑ. එතකොට ඈත එන ලොකු ට්‍රක් එකට පේන්නේ නෑ. ට්‍රක් එකේ බකට් එක හැප්පෙනවා ට්‍රේලරේ අයිනේ.

එතකොට මිනිස්සුන්ගේ සම්පූර්ණ ඔළුව උඩින් බෙල්ලවල් වලින්  යන්නේ.  මිනිස්සු වන්දනාවේ යන්නේ දෙවියන්ට කියන්න. අන්තිමට ඒ යන්න වෙන්නෙත් නෑ. ඉතින් ඒ නිසා වාහන කුලියට දෙන අය විශේෂයෙන්ම බලන්න ඕනි. මේක ව්‍යාපාරයක් කවුරුත් දැන් පිනට යන්නේ නෑ. කවුරුත් මේ නිකන් යාළුකමට එක්කන් යන්නේ නෑ හුඟක් අය. ඒ නිසා වගකීමක් තියෙනවා ව්‍යාපාරයක් ව්‍යපාරයක් ලෙස කරන්න ඕනි.

ඒක නිසා තමයි අපි මේක යෝජනා කරන්නේ. අපි එකපාර කාටවත් විශාල බරක් පටවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මාස තුනකට සැරයක් තමන්ගේ වාහනයේ මූපික දේවල් ටික Check කරගන්න. මේකෙන් අපි අලුත් Industry එකක් හා Profession එකක් Develop කරනවා. NvQ 4 තියෙන දැනුම තිබෙන වෘත්තිකයන්ට ගරාජ් එකක ලියාපදිංචිවෙලා මේවා Check කරන්න පුළුවන්. එතකොට අමතර අදායමකුත් ස්වේච්ඡාවෙන් කරන්න මෝටර් මිකැනික් ශිල්පය දන්න අයට අවස්ථාව ලැබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: