hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 9:45



පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ලබා දෙන ඉන්ධන නතර කීරිම නිසා අද (26) හා හෙට (27) බස් රථ ධාවනය සියයට පනහක් පමණ වනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසුවා.

ඉන්ධන අර්බුදයෙන් පසු සති කිහිපයක් කිසිදු ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දුන් නමුත් පෙරේදා (24) සිට නැවත වරක් ඉන්ධන ලබා නොදීමට ලංගම කටයුතු කිරීම නිසා දිවයින පුරා බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත් වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වු පසුබිමක ඉන්ධන තොග ගබඩා පර්යන්තයේ ඇති වී තිබෙන අභ්‍යන්තර විරෝධතා හමුවේ මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියා.

ලංගම බස්රථවලට ලබා දෙන ඉන්ධන ඩිපෝවලට ප්‍රමාණවත්ව නොලැබෙන බව ත් ඒ නිසා පෞද්ගලික බස්රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දිය නොහැකි බව ඩිපෝ සේවකයන් පවසන බවත් ඔහු සඳහන් කළා.

ඉන්ධන ලබා දීම QR කේතය හරහා සිදු කරනු ලැබුවත් එය ප්‍රමාණවත් නොවෙන බව ත් දෛනිකව අවශ්‍ය ඉන්ධන වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අවස්ථාවක ලබා දෙන ඉන්ධන ප්‍රමාණයවත් ලබා ගත නොහැකි බව ත් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවා.

පොදු ප්‍රවාහනය රටකට අවශ්‍ය ප්‍රධාන සාධකයක් බවත් එය නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය හා පාලනය සිදු කළ යුතු නමුත් රජයේ නිලධාරීන්ගේ අනුවණ ක්‍රියා නිසා රටේ පොදු ප්‍රවාහනය ඉදිරියේ දී කඩා වැටෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලංගමට අවශ්‍ය ඉන්ධන දින තුනකින් නොලැබීම නිසා අද (26) සිට ලංගම හා පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසා සිටියා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංගමට හා පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් කිරීමට පියවරගෙන තිබුණත් තවමත් තෙල් නොලැබුණු බවත් ඔහු සඳහන් කළා.

පෞද්ගලික බස් රථවලට මෙන්ම ලංගම බස් රථවලටත් අවශ්‍ය ඉන්ධන තොග සංචිත ඩිපෝ සතුව නොමැති නිසා ඊයේ (25) සිට බස් රථ ධාවනය අඩු වී තිබෙන අතර ඇණවුම් කරන ලද ඉන්ධන තොග හෙට දිනය තුළ නොලැබෙන්නේ නම් පොදු ප්‍රවාහන කටයුතු අඩාල වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: