hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, පෙ.ව. 9:43



ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා ගෙන වැඩි මිලට විකුණන පෞද්ගලික බස් රථ හිමියන්ගේ මාර්ග බලපත්‍රය අත්හිටුවන බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු කරන බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද වනතුරු පැමිණිලි කිසිවක් ලැබී නොමැති නමුත් ආයතනික තොරතුරු මත පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා සඳහන් කළා.

ලංගම ඩිපෝ මගින් ලබාදෙන ඉන්ධන පෞද්ගලික බස් රථ හිමිකරුවන් වැඩි මිලට විකුණන බවට ප්‍රවාහන අමාත්‍යවරයාට ලැබුණු තොරතුරු අනුව මෙම පරීක්ෂණ කටයුතු පවත්වන බව ද ඒ මහතා පැවසුවා.

බස් රථ හිමියන් ඉන්ධන වැඩි මිලට විකුණන බව ලංගම සභාපතිවරයා පැවසූවත් එවැන්නක් සිදුනොවන බවත් තම සංගමයට ලැබී ඇති තොරතුරු අනුව අද වෙනතුරු එවැනි පැමිණිල්ලක් ප්‍රවාහන අමාත්‍යාංශයට ලැබී නොමැති බවත්, සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවා.

පවතින තත්ත්වය අනුව පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා දෙන්නේ දෛනිකව ධාවනය වන දුර ප්‍රමාණය අනුව බවත් ඒ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සම්පූර්ණ නියාමනය යටතේ කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

ඒ අනුව ලංගම ඩිපෝව මගින් ලබාදෙන ඉන්ධන ප්‍රමාණය හා ලබා ගන්නා බස් රථ සංඛ්‍යාව නිසියාකාරව නියාමනය වන බවත් කිසිදු අවස්ථාවක වංචනික ක්‍රියා කිරීමට නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.