hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2026 ජූනි 27, පෙ.ව. 12:31



වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහා ක්‍රියාත්මක වූ වංචනික මාර්ගගත ආයෝජන ක්‍රමයකට හසුවීම නිසා හැටවැනි වියේ අගභාගයේ පසුවන විශ්‍රාමික වෘත්තීය ඉංජිනේරුවරියකට රුපියල් මිලියන නවයකට අධික මුදලක් අහිමි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් මෙම වංචාවට ගොදුරු වූ තැනැත්තිය මෙරට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයන්හි වසර හතළිහකට වැඩි සේවා කාලයක් සපුරා ඇති අයෙක් බව සඳහන් කළ බව වාර්තා වේ.

වාර්තා වූ ලෙස ඇය ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් මෙන්ම රුපියල් මිලියන 10 ඉක්ම වූ බැංකු තැන්පතු හිමිකාරීත්වයක් පැවති මූල්‍යමය ලෙස බෙහෙවින් ස්ථාවරව පෞද්ගලික විශ්‍රාමික නිවාස පහසුකමක් යටතේ දිවි ගෙවා තිබෙනවා.

කෙසේ වෙතත් ඇය ආයෝජන උපදේශකවරුන් වශයෙන් පෙනී සිටි සංවිධානාත්මක වංචාකරුවන් කණ්ඩායමකගේ වංචාවකට හසුව ඇත.

ඒ අනුව සෑම මාස තුනකට වරක්ම ආයෝජනය කරනු ලබන මුදල දෙගුණ කර දෙන බව සඳහන් කර ලැබුණු අසාමාන්‍ය වට්ස්ඇප් පණිවිඩයක් මුල් කරගනිමින් මෙම මූල්‍ය වංචාව ආරම්භ වී ඇති බව සඳහන්.

මෙම අධික ලාභය කෙරෙහි විශ්වාසය තබා ඇය මුදල් තැන්පත් කිරීම ආරම්භ කර තිබෙන අතර, මුල් මාස කිහිපය තුළදී ඇයට යම් ප්‍රතිලාභ මුදලක් ගෙවීමට ද වංචාකරුවන් ක්‍රියා කර ඇති බව සඳහන්.

එමඟින් අදාළ ව්‍යාපාරය නීත්‍යානුකූල එකක් බවට ඇය තුළ දැඩි විශ්වාසයක් ඇති කරවීමට වංචාකරුවන් සමත් ව ඇත.

කෙසේ වෙතත් අනතුරුව හෙළි වී ඇත්තේ ඇයට මුල් අවස්ථාවේදී ලැබුණු එම ප්‍රතිලාභ මුදල්, වෙනත් කිසිදු ආයෝජනයකින් උපයා ගත් ඒවා නොව ඇය විසින්ම ලබාදුන් මුදල්වලින් කොටසක් බවයි. එසේම මෙය මෙවැනි වංචනික මූල්‍ය උපක්‍රමයන්හි භාවිත වන සාමාන්‍ය ක්‍රමවේදයක් වේ.

මේ අතර කාලයත් සමඟ අදාළ ගෙවීම් සීමා වී අනතුරුව එය සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර, එහිදී මතු වූ ගැටලුවලට විවිධ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් ඇයව තවදුරටත් මුදල් ආයෝජනය කිරීමට වංචාකරුවන් පොළඹවා ගෙන තිබෙනවා.

එසේ ඇය විසින් අවස්ථා කිහිපයකදී කරන ලද සමස්ත ආයෝජනය රුපියල් මිලියන 10කට ආසන්න බව වාර්තා වේ.

ඒ අනුව ඇය මේ පිළිබඳව සැක සිතී පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය පතන විටත්, ඇය සතු නිවස පවා විකුණා එම මුදල්ද මෙම ක්‍රමයට යොදවන ලෙස වංචාකරුවන් ඇයට දැඩි බලපෑම් එල්ල කරමින් සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එහිදී වහාම ක්‍රියාත්මක වූ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇයව තවදුරටත් සිදු වීමට ගිය මූල්‍ය විනාශයෙන් මුදවා ගැනීමට කටයුතු කර ඇත.

එමෙන්ම මෙම වින්දිත කාන්තාව තමන් සිදුකළ සියලුම මූල්‍ය ගනුදෙනුවල ලේඛන නිසි ලෙස පවත්වාගෙන ගොස් ඇති බැවින් පවතින සියලුම සාක්ෂි ද සමඟින් මෙම සිදුවීම වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට එම සංසදය පියවර ගෙන ඇත.

ඒ අනුව මේ වන විට එය විශාල මූල්‍ය අපරාධයක් වශයෙන් සලකා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: