hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 11:02



ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට වෙන් කොට කොටස් 22ක් යටතේ කොම්පැනිකරණයකට ලක්වීමට යන බවට ඊයේ (08) පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙළිදරව් කළා.

රජයක් ලෙස මෙරට විදුලි බලාගාර කොම්පැනිකරණය සිදුනොකරන බවට ජනතාවට නිල ප්‍රකාශයක් සිදුකලයුතු බව ඊයේ පාර්ලිමේන්තුවේදී චම්පික රණවක මහතා අභියෝග කර සිටියා.

එසේ කිරීමට අත්‍යවශ්‍ය වනුයේ 1950 සිට අවු. 70කට අධික කාලයක් තිස්සේ ආරම්භ වෙමින් පැමිණි විදුලි බලාගාර බොහෝමයක ණය වාරික පවා ගෙවා අවසන් කොට සම්පුර්ණයෙන් රජය සතු වීම හා එම ණය වාරික ගෙවීම සඳහා මෙරට සුවහසක් ජනතාව තම මහන්සියෙන් උපයා දුන් මුදල් යොදවා තිබීම හේතුවෙන් බව ඒ මහතා අවධාරණය කළා.

මේ පිළිබඳව වැඩිදුරටත් පාඨලී චම්පික රණවක මහතා,

“කමිටු යෝජනා අනුව ලංකා විදුලිබල මණ්ඩලය කොම්පැනි 18කට වෙන් කරනවා. විශේෂයෙන්ම ජනනය සඳහා කම්පැනි 6 ක්. ලක්ෂපාන, කැලණිතිස්ස, මහවැලි ජල විදුලි පද්ධති, සමනල වැව හා අනෙකුත් විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි පද්ධති, පුත්තලම බලාගාරය, තාප ජනන බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය. බලාගාර ඉදි කරලා තියෙන්නේ විදුලි බලය සඳහා පමණක් නෙවෙයි. පානීය ජලය, වාරිමාර්ග හා අනෙකුත් කටයුතු සඳහා. දැනට ලක්ෂපාන බලාගාර සංකීර්ණයේ රුපියල් 2.41 විදුලි ඒකකයක්. මහවැලි සංකීර්ණයේ රුපියල් 2.70 විදුලි ඒකකයක්. සමනල සංකීර්ණයේ රුපියල් 3.68 ඒකකයක්.

මේවා වෙළඳපොලේ විකිණීමට සම්ප්‍රේෂණ පද්ධතියේ ISO නමින් ආයතනයක් පිහිටුවන්න යනවා. එය වෙළඳ පද්ධතියක්, ඒ වගේම මූලධර්මය අනුගමනය කරන්න යනවා. ඒ අනුව ඕනෑම තොග වෙළෙන්දෙකුට විදුලිය ගන්න පුළුවන්. පොදු වෙළඳාමට ගිය හැටියේ අඩු වියදම තියෙන විදුලි බලාගාරයට වැඩි ඉල්ලුමක් එනවා. ජල විදුලිය අනිවාර්යෙන්ම තාප විදුලිය තත්වයට පත්වෙනවා. ඒ නිසා මේ ගැන මේ පාර්ලිමේන්තුවේ විධිමත් අධ්‍යනයක් විධිමත් විවාදයක් සිදුකල යුතුයි. බෙදාහැරීම් කලාපත් කොම්පැනි කරන්න යෝජනා කරලා තියෙනවා. එල්. ටී. එල්. ආයතනය, ලංකා කෝල් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධකය, ඒ වගේම අනෙකුත් උපකාරක සේවා, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාදෙනවා. ඒ සී පවත්වගෙන යනවා, සියලුම ණය වෙනත් ආයතනයකට ගන්නවා, නියාමන ආයතනයක් ගේනවා, නිල විනිශ්චය සභාවක් පිහිටුවන්න යෝජනා කරලා තියෙනවා, ඒ වගේම බලශක්ති අමාත්‍යංශයෙන් මේ බලය මුදල් අමාත්‍යංශයට අරගෙන 2002 තිබුණා වගේ ආයතනයක් පිහිටුවන්නත් යෝජනා කරලා තියෙනවා.

මේ පිළිබඳව විධිමත් අධ්‍යනයක් අපි සිදුකල යුතුයි. ඒ වගේම විදුලිබල මණ්ඩලය නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා සහනයක් දෙනවා කියලා. සහනයක් දෙන්න ඒකක 300 වැඩි අයට. ඒකක 300 අඩුවෙන් පාවිච්චි කරන සියලු දෙනාටම මේ ජල විදුලියේ ඒ වගේම අනෙකුත් අඩු බලාගාරවල යන්න පුළුවන්. ඒ වගේම මේ පාඩුව නමින් හඳුන්වපු කාරණය, ලංකා විදුලිබල මණ්ඩලය හදලා තියෙනවා සිනාරියෝ 12ක්. ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ, දිනකට ඒකක ගිගාවොට් 47ක් වැයවෙනවා කියලා. දෙසැම්බර් පස්වෙනිදා වැයවෙලා තියෙන්නේ ගිගාවොට් 35.5යි. මේ මිල ගණන් බැලුවහම ගිගාවොට් පැය 35.5 නම් ගිගාවොට් 47 ජනන වියදම බිලියන790යි. 35.5 හැදුවහම ජනන වියදම බිලියන 370 යි. මේ පිළිබඳව විධිමත් ආකාරයේ පරීක්ෂණයක් ස්වාධීන කණ්ඩායමක් මගින් සිදු කළ යුතුයි මහජන උපයෝගිතා කොමිසමත් එක්ක. අපේ ආර්ථික ස්ථායිකරණ අනු කමිටුව මගින් ආසියානු සංවර්ධන බැංකුවට ආරාධනා කළා මේ ලෝකය පුරා බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකරන යම් යම් පරිවර්තන ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න කියලා. මම ආරාධනා කරනවා සියලුම මන්ත්‍රීතුමන්ලාට මේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව, බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව ලෝකයේ අත්දැකීමත්, ලංකාවේ සිදු කරන්න යන ක්‍රියාවලියත් ගැන ඒ සංවාදයට දායක වෙන්න කියලා.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: