hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:23



රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොර බදා ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කර ඇතැයිද වාර්තා වනවා.

ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහායද ඔහුට ලැබී ඇති අතර මේ වන විට එම කොස්තාපල්වරයා පළාගොස් තිබෙනවා.

දැනට රැඳවුම් නියෝග ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ඇත්තේ පෙරේදා (10) දිනයේදීයි.

එහිදී හරක් කටාට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයෙකු එහි සිටි පොලිස් නිලධාරීන්ට තමා නිවසින් රැගෙන ආ බව පවසා කිරිටොපි වර්ගයක් ලබාදී ඇති අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු මත්වී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

අනතුරුව හරක් කටාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම මත ඔහුව වැසිකිළියට රැගෙන ගොස් ඇති අතර මාංචු ද ගලවා ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් බව සඳහන්වෙනවා.

හරක් කටාගේ මාංචු ලිහිල් කළ කොස්තාපල්වරයා නැවත මාංචුවල යතුරු ලා නොමැති අතර ප්‍රශ්න කිරීම් සඳහා නැවතත් ගෙනඑන ලද හරක්කටා මඳ වේලාවකට පසු විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේවෙතත් එම උප පොලිස් පරීක්ෂකවරයා හරක්කටා සමග පොරබදා ඔහුව මෙල්ල කරගැනීමට සමත්වී තිබුණා.

හරක් කටාට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට පළා ගොස් ඇති අතර ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සලිඳු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයට දන්වා සිටියේ.

කෙසේවෙතත් මෙම පෙත්සම ඔක්තෝබර් මස 25 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.