hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 11:29



පාර්ලිමේන්තුව, වරාය නගරය, ගංගාරාමය ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන හතක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ වෙත ඊයේ (05) කරුණු වාර්තා කළා.

දැනට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම සැලසුම් කර ඇති බව ද කරුණු අනාවරණය වෙනවා.

පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවකු අදාළ ත්‍රස්තයන්ගේ සැලසුම සම්බන්ධයෙන් කරුණු දැනගෙන ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ගත් ලිපියක් තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසි කිරීමත් සමග මෙම සැලසුම අනාවරණය වී ඇත.

බන්ධනාගාරගතව සිටින මෙම ත්‍රස්තයන් ජංගම දුරකතන මගින් කොළඹ නගරයේ ස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සංවාදයට මෙම රැඳවියා සවන් දී ඇති අතර, පසුව එම ත්‍රස්තයන් විසින් මෙම රැඳවියාට ද පහරදී ඇත. තමා දැනගත් සියලු තොරතුරු සමඟ නම් හා දුරකතන අංකය ද සඳහන් කළ ලිපියක් ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ සිට මහරට ගෙන යන අවස්ථාවේදී තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසිකොට ඇත.

මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කරන ත්‍රස්ත විමර්ශන ඒකකය අදාළ රැඳවියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම අදාළ අධිකරණ බල ප්‍රදේශයට අයත් අධිකරණයකින් සිදු කරන ලෙසට නියෝග කළා.