hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූලි 01, පෙ.ව. 8:18



ඉදිරි සතියේදී අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන කොළඹ මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුව තමන් රට භාරගත් බවත් සියලුදෙනා පැන ගිය අවස්ථාවක තමා රට භාර ගැනීමට සිදු වු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

පොහොට්ටුවේ සිටි බොහෝ දෙනෙකුට ඇමතිකම් නැති වු බවත් ඔවුනට දැනට එය ලබාදීමට තමාට හැකි වුණේ නැති බවත් ඔවුන් සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටින බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තුන් ගුණයක ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා. ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හො‍ඳින් තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ, බංකොළාත් කාලයේ අපි විසින් සිදුකළා.

සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජිවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේ දී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදිමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 108%යි. අපි අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවීමට කාලය ලබාදීමට ඔවුන් එකඟවී සිටිනවා. 2042 වන තෙක් ණය ගෙවීමට කාලය ලබාදී තිබෙනවා. ඒ වගේම ගෙවන ණය ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේ සියලු සහන ලබාගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා.

මෙම එකඟතා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අප විසින් පුද්ගලික අයගෙන් බැදුම්කරවලින් ණය ලබාගෙන තිබෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැදුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මම සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මෙම කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට හැකි වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියා මා රාජ්‍ය මුල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නා. දැන් ඒ කරුණු සියල්ලම සඳහන් කිරීමට නොහැකි වුණත් ඉදිරියට ඒ ගැන දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කර රාජ්‍ය මුල්‍ය කමිටුව එය පරීක්ෂා කළ පසු වාර්තාවක් සකස් කර ඡන්දයකට යමු කියා මම දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.”

මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: