hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 21, පෙ.ව. 12:06



විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සියලුම ව්‍යාපෘතිවලට ගෙවිය යුතු බදු සහ වෙනත් ගෙවීම් ඒ සඳහා ලබාදෙන ප්‍රතිපාදන මගින් ආවරණය කරගත යුතු අතර අමතර ප්‍රතිපාදන ලබා නොදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත වූ ව්‍යාපෘති 2024 ජූලි 31 වැනිදානට පෙර අවසන් කළ යුතු බවත් අනුමත වූ ව්‍යාපෘති යෝජනාවක් නැවත සංශෝධනය කළ හැක්කේ අප්‍රේල් 30 වැනිදාට පෙර බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා.

ලබන පෙබරවාරි 15 වැනිදිනට පෙර විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ සිදු කරනු ලබන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙහි අනුමැතිය ලද ව්‍යාපෘති යෝජනා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු බවද මුදල් අමාත්‍යාංශය දන්වා සිටියි.

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ වැඩිම මුදල් ප්‍රතිපාදනයක් වෙන් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටය. එම මුදල රුපියල් මිලියන 1090කි. අඩුම ප්‍රතිපාදනය වන රුපියල් මිලියන 80ක් වෙන් කර ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටයි.

රටේ දිස්ත්‍රික්ක 25 සඳහා විමධ්‍යගත අයවැය වැඩසටහන මගින් රුපියල් මිලියන 11250ක් වෙන් කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

සෑම දිස්ත්‍රික්කයකටම ලබාදෙන මුළු ප්‍රතිපාදනයෙන් 50%ක් ඉදිකිරීම් සඳහා යෙදවිය යුතු බවද මුදල් අමාත්‍යාංශය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.

කොවිඩ් වසංගතය සහ ඉන් අනතුරුව නතර වී තිබෙන අඩු පිරිවැයකින් නිම කළ හැකි ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන ආශ්‍රිතව පොදු පහසුකම් ඇති කරන ලෙසත් ග්‍රාමීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති, පළාත් මාර්ග, ග්‍රාමීය මාර්ග, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් පාසල් සහ රෝහල්වල යටිතල පහසුකම් ඇති කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරුන්ට තවදුරටත් දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: