hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 23, පෙ.ව. 8:58



මොරටුව මොරවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (21) රාත්‍රි 7.30 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

විමර්ශන වලින් හෙළිවී ඇති අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සහ තුවාලකරු අතර මීට දින කීපයකට උඩදී ආරවුලක් ඇතිවී තිබුණා.

එහිදී මෙම තුවාලකරු මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුට පොල්ලකින් පහරදී තිබෙනවා.

එම සිද්ධියට එකට එක කිරීමක් ලෙස පෙරේදා රාත්‍රි තියුණු ආයුධයක් රැගෙන පැමිණි එම පුද්ගලයා තමාට පහර දුන් 40 හැවිරිදි පුද්ගලයාගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වෙන ලෙස කපා දමා එම දෑත් කොටස් දෙක රැගෙන පලා ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ සැකකරු මෙම කපා දැමූ දෑත් කොටස් දෙක රැගෙන යන්නට ඇත්තේ එය රෝහලට රැගෙන ගොස් නැවත බද්ධ කිරීම වළක්වා ලීමට බවයි.

සැකකරු සහ ඔහුගේ බිරිඳ පෙරේදා රාත්‍රියේ සිට සිය නිවස අතහැර ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කම්කරුවකු ලෙස රැකියාව කරන අයෙක්.

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්‍ෂණය යටතේ මොරටුව පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.