hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 3:02



දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට යාමේදී එක් වරකට එක් අයෙකුගෙන් රුපියල් 100ක මුදලක් අය කෙරෙන බව පැවසෙනවා.

තවද ආර්ථික මධ්‍යස්ථානයේ විකල්ප මාර්ගය පස්වරු 6.00 සිට පෙරවරු 6.00 දක්වා වසා තැබීම නිසා ගොවීන්, ව්‍යාපාරිකයින් මෙන්ම ගනුදෙනුකරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙනවා.

මේ  දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක මිල ඉතාමත් පහත මට්ටමක පවතින බවත් විශේෂයෙන් ගොවීන්, කම්කරුවන් ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළිය පාවිච්චි කිරීමේදී රුපියල් 100ක මුදලක් ලබා දීමට නොහැකි වීම නිසා ඔවුහු දැඩි අපහසුතවයට පත්ව ඇති බවත්, එමෙන්ම මෙලෙස  විශාල  මුදලක් අය කිරීම හේතුවෙන් බොහෝ දෙනෙකු ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල වැසිකිළි යෑම නිසා ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂිත බවට තර්ජන එල්ල වී ඇති බවද ජනතාව පෙන්වා දෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරයට පසුගිය කාලයේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී තිබුණේ ගොවීන් සහ ව්‍යාපාරිකයන්ට සහනයක් ලෙස ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළි පහසුකම් නොමිලේ සපයාදීමට ක්‍රියා කරන ලෙසයි.

ඒ අනුව මෙතෙක් කාලයක් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි සියලුමදෙනාට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමිලේ සපයා දී ඒ සඳහා ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ගෙන් නඩත්තු මුදල් අය කරගෙන තිබුණා.

කෙසේවෙතත් මෙම මස 05වන දින සිට නැවත වතාවක් ආර්ථික මධ්‍යස්ථානයේ එක් වැසිකිළි පද්ධතියක් එක් අයෙකුට රුපියල් 20 බැගින් අය කරන ලෙසත් අනෙක් වැසිකිළිය එක් අයෙකුට රුපියල් 100 බැගින් අය කිරීම සිදු කරන ලෙස ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය තීරණය කොට තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ව්‍යාපාරිකයන්, කම්කරුවන්, ගොවීන් කියා සිටියේ රුපියල් 20 බැගින් අය කරන වැසිකිළි පද්ධතිය ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතින බවත් ඒවා ඇතුළත කැඩී බිඳී ගොස් ඇති බවත් ජලය ලබා ගැනීමට බූලි කපා තිබෙන බවයි.

මේ දිනවල කැකිරි කිලෝවක් රුපියල් දහයකට අලෙවි වන බවත් කැකිරි කිලෝ 10ක් අලෙවි කිරීමෙන් එක් වරක් වැසිකිළි යාමට හැකි බව ගොවීන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ජනතා මුදලින් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස විකල්ප මාර්ගය ඉදි කර තිබෙන බවත් එහෙත් පස්වරු 6 සිට පසුදා පෙරවරු 6.00 පමණ වනතුරු එම මාර්ග වසා දැමීම නිසා තමන් මෙන්ම ජනතාවද දැඩි පීඩනයකට ලක්ව සිටින බවද ඔවුන් පෙන්වා දෙනවා.

රටේ යුද්ධය පැවති සමයේ වත් ආර්ථික මධ්‍යස්ථානයේ විකල්ප මාර්ග වසා නොදැමුණු බවද එහෙත් දැන් වනවිට ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සහ පිටවන විකල්ප මාර්ග වසා දැමීම බරපතල ප්‍රශ්නයක් බව ජනතාව පෙන්වා දෙනවා.

මේ පිළිබඳව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරන භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය ගත් තීන්දුවක් අනුව විශාල පිරිවැයක් වියදම් කරන නිසා වැසිකිලි නඩත්තුවට මුදල් අය කිරීම සිදුකරන බවත් ගොවීන් සඳහා නොමිලේ සියල්ල ලබා දීමට නොහැකි බවයි.

තවද ආර්ථික මධ්‍යස්ථාන විකල්ප මාර්ගය වසා දැමීම සිදු කරනු ලබන්නේ ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට බව ඔහු පෙන්වා දුන්නා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: