hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 01, පෙ.ව. 10:22



දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් පවසනවා.

ඊයේ (31) පෙරවරුවේ වනජීවි දෙපාර්තමේන්තුවේදී මීට අදාළව සාකච්ඡාවක් පැවැත්වුවා.

එහිදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී අවධාරණය කළේ විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව බවයි.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි රැක බලා ගැනීම ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවත් ඔවුන් රැක බලා ගැනීම සඳහා වසරකට රු.මි.45ක මුදලක් වැය වන බවත් ඔවුන් පවසනවා.

රජය විසින් අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල ඉහත කී කරුණු නිසා අවසන් ඇති බවත් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදු කළ සැපයුම්කරුවන්ට මේ වන විට රු.මි.59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බවත් මෙම වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ අඩු තරමින් රු.මි.120ක පමණ මුදලක් අවශ්‍යව තිබෙන බවද සඳහන්.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

සතුන් සමඟ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්.

පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි සේ බලපෑම් එල්ල කර ඇති අතර මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.