hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2026 ජූනි 23, පෙ.ව. 12:06



ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනාවරණ කර සිටියි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 28කි.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් නිසි වේලාවට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. ජනවාරි මාසයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ඩෙංගු මදුරු කීට ඝනත්වය පෙන්වන බිටෝ දර්ශකය අප්‍රේල් මාසය වන විට බොහෝ ප්‍රදේශවල සියයට 25 ඉක්මවා තිබූ බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව අප්‍රේල් මාසයේදීම ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා හරහා අදාළ පළාත් බලධාරීන් දැනුවත් කළ ද, ඇතැම් කොට්ඨාසවල නිලධාරීන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම මෙය වර්ධනය වීමට බලපා ඇති බවයි.

නජිත් සුමනසේන මහතා පවසන්නේ 2017 වර්ෂයේ පැවති වෛරස් කාණ්ඩයම 2026 වසරේදී නැවත පැමිණ තිබීම හේතුවෙන්, මිනිසුන් තුළ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීම ද ආසාදිතයින් වැඩි වීමට බලපා ඇති බවයි. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා,

“සමීක්ෂණ දත්තයන්ට අනුව අපිට පෙනුනා ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ එනකොට, මාර්තු මාසයේදී ක්‍රම ක්‍රමයෙන් බිටෝ දර්ශකය වර්ධනය වෙමින් පැවතුනා. අප්‍රේල් මාසේ වෙනකොට බිටෝ දර්ශකය බොහෝ ප්‍රදේශවල සියයට 25කට වැඩි තත්ත්වයකට තිබුණා සෑම ප්‍රදේශයකම. ඉතින් මේ තත්ත්වය අපි අප්‍රේල් මාසයේ විතර දැනුම් දුන්නා. නමුත් ඒ දැනුම් දීමට අනුව ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමා විසින් අදාළ පළාත්වලටත් දැනුම් දෙනවා. නමුත් මේ දැනුම් දුන්නම ඒ කොට්ඨාසවල සමහර නිලධාරීන් අතින්, ඒ අදාළ බලධාරීන් අතින් මේ සම්බන්ධව යම් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිද්ධ වුණා. සමහර ප්‍රදේශවල ඒ සම්බන්ධව අපේ වාර්තා අනුව කටයුතු කරපු ප්‍රදේශත් තියෙනවා, නැති ප්‍රදේශත් තියෙනවා. මේ වසංගත තත්ත්වය පුරෝකථනය කරලා, ඉදිරි අනාගතයේදී මේ තත්ත්වය එන්න ඉඩ තියෙන බව දැන දැනත් ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාද වීම හේතුවෙන් තමයි මේ ජුනි මාසේ වෙනකොට මේ තරම් විදිහට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යන්න හේතුවක් වෙන එක හේතුවක්. අනිත් එක තමයි 2017 තිබුණු වෛරස් කාණ්ඩය, 2026 මේ අවුරුද්දෙත් ඇවිල්ලා තියෙනවා. ඒකත් අපේ ශරීරයට මිනිස්සුන්ට ප්‍රතිශක්තියක් නැහැ”

එහිදී අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය,

“2026 මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 45,037ක් සහ මරණ 28ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තවදුරටත් වැඩි වශයෙන් රෝගීන් වාර්තාවීම පෙන්නුම් කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මහජනතාව විදිහට අපි මේ ගැන සැලකිලිමත් වුණොත් විතරයි මේ රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද මදුරුවන් බෝවන ස්ථාන අඩු කරගැනීමෙන් තමයි අපිට රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි සියලුදෙනාම එකතුවෙලා තමන්ගේ පරිසරය මදුරුවන් බෝවිය හැකි ස්ථාන තවදුරටත් දිගින් දිගටම සොයාබලා අයින් කරගන්නවා නම් අපිට මේ රෝගය අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා හැමෝගෙම සහය බලාපොරොත්තු වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: