hit counter

2026 සැප්‍තැම්‍බර් මස 26 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:32



රටක පාලකයන් අධිකරණ බලය, රාජ්‍ය බලය හෝ වෙනත් කුමන දේශපාලන බලයක් අත්පත් කරගැනීමට උත්සාහ කළ ද, ආර්ථිකය වර්ධනය කරගැනීමට නොහැකි වුවහොත් එම දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහී යන බව ප්‍රමුඛ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2026 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික දර්ශක පිළිබඳව විශේෂ විග්‍රහයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙරට ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථික වර්ධන වේගය 6% ත් 7% ත් අතර ඉහළ මට්ටමක දීර්ඝකාලීනව පවත්වාගත යුතු වුවද, නවතම දත්ත අනුව ආර්ථික වර්ධන වේගයේ පැහැදිලි අඩාල වීමක් පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.2% කින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, 2026 පළමු කාර්තුවේදී වාර්තා වූ 5.1% ක ආර්ථික වර්ධනය සමඟ සැසඳීමේදී, දෙවැනි කාර්තුව වන විට ආර්ථික වර්ධන වේගය ආසන්න වශයෙන් 0.9% කින් හෙවත් 1% කට ආසන්න ප්‍රමාණයකින් අඩාල වී ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

මෙහිදී ආර්ථිකය වර්ධනය නොවන බවක් අදහස් නොවන නමුත්, ආර්ථිකය ප්‍රසාරණය වන වේගය මන්දගාමී වීම බරපතළ අවධානයට ලක්විය යුතු කරුණක් බව ධනනාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

ක්ෂේත්‍රයන් වශයෙන් සලකා බැලීමේදී, මෙවර කාර්මික සහ සේවා ක්ෂේත්‍රයන්හි යම් වර්ධනයක් දක්නට ලැබුණ ද, පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව කෘෂිකාර්මික ක්ෂේත්‍රය සෘණාත්මක වර්ධනයක් පෙන්වමින් සංකෝචනය වී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග අර්බුදය, පොහොර සහ ඉන්ධන සැපයුම් ගැටලු මීට බලපෑ හැකි බව පෙන්වා දුන් ඒ මහතා, කෘෂිකාර්මික රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනාලියක් බඳු කෘෂි අංශයේ සිදුව ඇති මෙම පසුබෑම සමස්ත ආර්ථික වර්ධනය අඩාල වීමට සෘජුව බලපා ඇති බව පැවසීය.

ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන විට සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට සහ ආදායම් මට්ටම්වලට එමඟින් කිසිදු සැබෑ සහනයක් හෝ වෙනසක් අත්නොවන බවත්, තම ආර්ථිකය යහපත් අතට හැරෙන්නේ නැතැයි හැඟී යන විට ජනතාව තුළින් ආණ්ඩුව කෙරෙහි දැඩි දේශපාලන ප්‍රතිරෝධයක් ගොඩනැගීම නොවැළැක්විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

එමෙන්ම රටක් තම ණය බර දරාගන්නේ ආර්ථිකයේ ප්‍රමාණය ප්‍රසාරණය වීම මත පදනම්ව බැවින්, ආර්ථික වර්ධන වේගය අඩාල වීම හමුවේ රට යළිත් වරක් දැඩි ණය අර්බුදයකට හා දුප්පත්කම ඉහළ යාමේ අවදානමකට මුහුණ දිය හැකි බව ද ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: