2026 මැයි 22, පෙ.ව. 11:55
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් විසින් සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.
බාල වයස්කාර දැරියකට අවමන් කිරීම වාචික හිංසනය යටතේ බරපතළ වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන්නැයි අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් විසින් ඉල්ලා ඇත.
මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත දැරියට බරපතල අගතියක් එමගින් සිදුවන බවද අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කරයි.
“ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්” යනුවෙන් වූ අදාළ ප්‍රකාශය සහිත වීඩියෝ සබැඳිය ද සහිතව අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් හරහා එම පැමිණිල්ල කර ඇත.
මේ අතර තමන් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය විසින් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇතැයි සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම සඳහන් කරයි.
තමන් කිසිදු විටක අදාළ වින්දිත දැරියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු නොකළ බවත් සමාජ මාධ්‍ය හරහා තමන්ට එරෙහිව සංවිධානාත්මක මඩ ප්‍රහාරයක් දියත් වෙමින් පවතින බවද දිලුම් අමුණුගම සඳහන් කරයි.
“නිට්ටඹුව ප්‍රදේශයේ කාන්තාවන් අලෙවි කරන ස්ථානයක් පොලිසියෙන් වටලා තිබුණා. එහි සිටි කාන්තාවකගෙන් ලබාගත් ප්‍රකාශයක් මත තමයි මේ පරීක්ෂණ ඉදිරියට ගොස් ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන්නේ කියන එකයි මගේ අවබෝධය වුණේ. මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අවස්ථාවේදී මම සඳහන් කළේ මට ආරංචි වූ ඒ තොරතුරයි. එය පැමිණිල්ලක් නොව, වෙනත් ස්ථානයකදී දුන් ප්‍රකාශයක් බව මම පැහැදිලි කළා.”
“මම කියපු ප්‍රකාශයේ මාධ්‍යවේදියෙක් අහපු එකට මට ලැබුණු ආරංචිය තමයි මම සඳහන් කෙරුවේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරලා ඒ දරුවාට ගණිකාවක් කිව්වයි කියලා තමයි සමාජ මාධ්‍යයේ අපි දැක්කා දිගින් දිගටම ගහන්නේ. ඒ නිසා ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරි හිතනවා නම් ඒක සිද්ධ වුණේ එහෙමයි කියලා, එහෙම නෙමෙයි ඒ සිද්ධිය වුණේ.
විශේෂයෙන්ම මට ආරංචි වෙච්ච විදිහට මේ සිද්ධිය ආරම්භ වෙන්නේ නිට්ටඹුවේ. නිට්ටඹුව ප්‍රදේශයේ යම් එවැනි කාන්තාවන් අලෙවි කරන ස්ථානයක් පොලිසියෙන් වටලලා, ඒ ස්ථානයේ හිටපු ඒ කාන්තාවන් හෝ කාන්තාවක් දීපු ප්‍රකාශයක් මත තමයි ඔය සිද්ධිය මේ දක්වා ගියයි කියන එක තමයි මගේ අවබෝධයේ තියෙන්නේ.”
මේ අතර පසුගියදා සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම සඳහන් කළේ, ගණිකාවකගේ ප්‍රකාශයක් මත අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බවයි.
වත්මන් පරිපාලනය විසින් රජයට සහාය දැක්වූ පිරිස් මෙන්ම ආරක්ෂක අංශ වල හිටපු ප්‍රධානීන් දඩයම් කරමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බවද දිලුම් අමුණුගම සඳහන් කරයි.
කෙසේ වෙතත් අටමස්ථානාධිපති හිමියන්ට එල්ල වී ඇති චෝදනා වලට අදාළ 15 හැවිරිදි දැරිය “ගණිකාවක” ලෙස හඳුන්වමින් දිලුම් අමුණුගම සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
2026 මැයි 22, පෙ.ව. 11:52
2026 මැයි 22, පෙ.ව. 11:49
2026 මැයි 22, පෙ.ව. 10:34
2026 මැයි 22, පෙ.ව. 12:27
2026 මැයි 22, පෙ.ව. 12:21