hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 1:05



ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ප්‍රමාණයක් ඉදිරියේදී සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, භූ විද්‍යාඥ අතුල සේනාරත්න මහතා පවසනවා.

මඩකලපුවට ඔබ්බෙන් කිලෝමීටර 310 ක පමණ දුරින් ඊසාන දිග ගැඹුරු මුහුදේ 11 දින අළුයම 1.30 ට පමණ සිදු වූ රික්ටර් මාපක ඒකක 4.65 ක් වූ භූකම්පනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා ඉහත අදහස් පළ කළා.

භූ කම්පනය පිළිබඳ ව තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද සඳහන් කළා.

“පසුගිය පැය 10 තුළ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ මෙන්ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ භූ කම්පන 08 ක් සිදුව තිබෙනවා. මේ කම්පන සියල්ල රික්ටර් මාපක 4 ට වැඩි ඒවා වසයෙන් වාර්තා වෙනවා. නමුත් මේ ගැඹුරු මුහුදේ සිදුවූ භූ කම්පනයෙන් අපේ රටට සුනාමි අවදානමක් නෑ. නමුත් නැගෙනහිර වෙරළට කිට්ටු මුහුදේ මේ කම්පන සිදුවුවහොත් සුනාමි අවදානම උද්ගත වෙන්න පුළුවන්. පසුගිය කාල සීමාවේ විශාල වශයෙන් භූ කම්පන වාර්තා වුණා. මින්  ප්‍රබලතම භූ කම්පනය වූයේ මොරොක්කෝවේ සිදු වූ භූ කම්පනයයි. එය ඉතා විශාල එකක්. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඕස්ට්‍රේලියානු තලයේයි. මේ තලය දැන්  භූ තල දෙකක් වශයෙන් දෙකඩ වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් පෘථිවිය  අභ්‍යන්තරයේ සිදු වන වෙනස් වීම් මේ භූ කම්පන වලට හේතු වශයෙන් දකින්න පුළුවන්. දකුණු අර්ධ ගෝලයේ කිසියම් රටාවකට අනුව සිදුවන මේ භූ කම්පන අනුව ඉදිරියේදී භූකම්පන රැසක් සිදුවන බව අපිට කියන්න පුළුවන්. නමුත් අපිට ඒ පිළිබඳව බිය විය යුතු නෑ. මේ කුඩා භූ කම්පන ඇතිවීම එක අතකින් හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. කුඩා ඒවා වශයෙන් නොව විශාල විභව ශක්තියක් විට කරමින් මහා පරිමාණ කම්පන සිදුවුවහොත් අපිට බලපෑම් වෙන්න පුළුවන්. කෙසේ වුවත් අප රටේ ආයතන රැසක් මේ තත්ත්වය සම්බන්ධයෙන් දිවා රාත්‍රී අවධානයෙන් පසුවෙනවා. අපට ඒ දත්ත නිරතුරුවම ලැබෙනවා මේක ඉදිරි පර්යේෂණ සඳහා හොඳ  තත්වයක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.” යනුවෙන්ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: