hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 08, පෙ.ව. 12:02



අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, උතුරු පළාතේ වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉදිරියේ දී ඉතා කෙටිකලක් තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 460ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළා.

ගුරු අධ්‍යාපනඥ සේවයේ ද නව බඳවාගැනීම් 700ක් සිදු කරන අතර නව ගුරු උපදේශක පත්වීම් ලබා දෙන බවත් සඳහන්.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විදේශ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා 5,500ක පමණ නව ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බවත් පළාත් මට්ටමින් එම පත්වීම් දීමට අවශ්‍ය සියලු‍ කටයුතු අවසන් කර ඇති බවත් ජාතික පාසල් සඳහා පමණක් විභාගයක් පවත්වා ඉදිරි සති කිහිපය තුළ එම බඳවාගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: