hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:13



පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ, තවත් සති 6කට පමණක් යැයි ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවෝ අනතුරු අගවයි.

දිවයිනට ම විදුලිය සැපයීම සඳහා ගිගාවොට් පැය 130ක පමණ ධාරිතාවක් මේ වනවිට පවතින බව ඔවුහු සඳහන් කරයි.

පෙර වසරවලට සාපේක්ෂව මේ දක්වා ජල විදුලි බලාගාර ප්‍රශස්ත ජල මට්ටමක පැවතියේ අනපේක්ෂිතව ලැබුණු අධික වැසි නිසා බව ත් ඉකුත් සතිය වනවිට එම සමස්ත ජල ධාරිතාව 80% ඉක්මවා තිබුණ බව ත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවෙක් පැවසුවා.

මේ වනවිට කාසල්රි මාවුස්සාකැලේ ජල ධාරිතා 70% ඉක්මවා ඇති අතර සමනල වැව හා රන්දෙණිගල ජලාශවල ජල මට්ටම 85% ඉක්මවා ඇතැයි ද ඔහු සඳහන් කළා.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 90% ඉක්මවා ඇති බව ය.

කෙසේ නමුත්, මෙම ජලාශවලින් පානීය ජලයට සහ ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීමට සිදුවුවහොත් විදුලිය උත්පාදනය කිරීම සඳහා ජලය ප්‍රමාණවත් නොවනු ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවා සඳහන් කළා.

මෙම පසුබිමෙහි තාප විදුලි බලාගාර වැඩි වශයෙන් යොදාගැනීමට සිදුවීමෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම ජල විදුලි නිෂ්පාදනයට සාපේක්ෂව ඉහළ යෑම නොවැළැක්විය හැකි යැයි ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළා.

මේ තත්ත්වය හේතු කරගනිමින් ලංවිම සිය විදුලි නිෂ්පාදන ධාරිතාවෙන් 65%ක් තාප බලාගාර යොදාගනිමින් දැනටම ත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති අතර වැඩි ප්‍රතිශතයක තිබූ ජල විදුලි නිෂ්පාදන ධාරිතාව 20% දක්වා අඩු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: