hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 03, පෙ.ව. 8:20



මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්කරුවන් දසදහසකට අධික පිරිසකට තමන් නොඉල්ලූ විෂයයක් සඳහන් ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

එමෙන් ම එම බොහෝ ප්‍රවේශ පත්‍රවල අයැදුම්කරු පෙනී සිටින මාධ්‍ය ද වෙනස් කර මුද්‍රණය කර තිබෙන බව ද විදුහල්පතිවරු පවසයි. ප්‍රවේශ පත්‍ර පරිගණක ගත කිරීමේ දී ඇති වූ දෝෂ සහිත තත්ත්වයන් මීට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම දෝෂ සහිත තත්ත්වය ඇති වී ඇත්තේ දෙවැනි වර විභාගයට පෙනී සිටින පෞද්ගලික අයැදුම්කරුවන්ට වීම ද ප්‍රශ්නයක්.

ගණිතය විෂයය පමණක් ඉල්ලුම් කළ අයැදුම්කරුවන්ට විද්‍යාව විෂයය ද මේ අයුරින් ප්‍රවේශ පත්‍රයට ඇතුළත්ව තිබාන බවයි පැවසෙන්නේ.

විභාග කාර්ය මණ්ඩලය නිශ්චය කෙරෙන්නේ ද මෙම පරිගණක දත්ත පදනම් කර ගෙන හෙයින් අයැදුම්කරුවන් නොමැතිව වුව ශාලාධිපති හා නිරීක්ෂක යන කාර්ය මණ්ඩල පත් කිරීමට සිදු ව ඇතැයි ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියි.

උද්ගතව ඇති තත්ත්වය මත ඇතැම් විභාග ශාලා සඳහා අමතර ප්‍රශ්න පත්‍ර යැවීමට සිදු වනු ඇති බවත් ඇතැම් ශාලාවල ප්‍රශ්න පත්‍ර ඉතිරි විය හැකි බවත් කී එම ආරංචි මාර්ග අවශ්‍ය වන අමතර ප්‍රශ්න පත්‍ර යළි මුද්‍රණය කර තිබෙන බව ද පැවසීය.

දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන් කිසිදු සැලකිල්ලකින් තොරව ස්ථාන මාරු කිරීම ද මෙම ගැටලු සහගත තත්ත්වයට හේතු වී තිබේ.

පාසල් විභාග සංවිධාන භාරව පමණක් අලුතින් නිලධාරීන් තිදෙනෙක් පත් කර ඇත.

ඉහත ආරංචි මාර්ග සඳහන් කළේ, විභාගය අවසන් වන තෙක් හෝ කලින් සිටි නිලධාරීන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට හැකි වූයේ නම් මෙවන් ගැටලු සහගත තත්ත්වයක් ඇති නොවන බවයි.

මෙවර විභාගය සඳහා හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නව දෙනෙක් අයදුම් කර තිබෙන අතර ඉන් හැට පන් දහස් තුන්සිය තිස් එක් දෙනෙක් පෞද්ගලික අයදුම්කරුවෝ වනවා.

විභාග මධ්‍යස්ථාන 3527ක දී විභාගය පැවැත්වේ.

මෙම මස 6 වැනිදා ආරම්භ කෙරෙන විභාගය 15 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: