hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 02, පෙ.ව. 12:04



උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 2,000ක දීමනාව රජය විසින් නෙගෙවීම හේතුවෙන් එම පිරිස මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්ව ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඊයේ (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ, පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසා සිටියේ, මේ හේතුවෙන් එම උත්තර පත්‍ර පරීක්ෂා කළ ගුරුවරු දැඩි ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවය.

“දින කිහිපයක් මේ පිළිබඳව දැනුවත් කළත් මේ රු 2,000 දීමනාවත් අත්තිකාරම් දීමනාවත් ගෙවීමට රජය විසින් කටයුතු කරලා නෑ. ඒ නිසා මේ මධ්‍යස්ථානවල ගුරුවරු අද දහවල් සිට ඇගයීම් කටයුතුවලින් ඉවත්වෙලා වුණා කියලා අපිට වාර්තා කරලා තියෙනවා. මේ දෛනික දීමනාව රු 2,000 වහාම ගෙවන ලෙස ඔවුන් පවසනවා. ඒ නිසයි ඔවුන් ඇගයීම් කටයුතුවලින් ස්වෙච්ඡාවෙන්ම ඉවත්වෙලා තියෙන්නේ. ඒක මේ රටේ අධ්‍යාපනයට දැඩි බලපෑමක්. මේ ගැන ඇමතිගෙන් ඇහුවහම කිව්වා ලබන සඳුදා කැබිනට් පත්‍රිකාවක් දාලා එය අනුමත කරගෙන ඉන් පසුව ගෙවීම් කටයුතු සිදුකරන බවය. මෙච්චර වැදගත් කැබිනට් පත්‍රිකාවක් කලින් නොදා සිටීම ගැන අපි කනගාටුවෙනවා. මෙලෙස රාජකාරියෙන් ඉවත් වීමෙන් බලපෑම් එල්ල වෙන්නේ දරුවන්ට. මෙය ඉතා ඉක්මනින් විසඳන්න කියලා අපි රජයට කියනවා.”

එමෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය මෙතෙක් නිසිලෙස විසඳී නොමැති බවද පැවසු පඤ්ඤාසේකර හිමියන්, එම අයිතීන් දිනාගැනීම වෙනුවෙන් දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බව ද පැවසුවා.
 
“වැටුප් විෂමතාවයෙන් තුනෙන් දෙකක් ලබාගත්තෙත් දැවැන්ත අරගලයක් කරලා. පාලකයින්ට නොදී බැරි නිසා තමා දුන්නේ. හැබැයි තව තුනෙන් දෙකක් ලබාදෙන්නට තියෙනවා. මේ පිළිබඳව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සමුළුවක් පවත්වලා යෝජනා 5ක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කළා. ඒවට ඇහුම්කන බවක් පේන්නේ නෑ. ඒ නිසා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කළා දිස්ත්‍රික්ක පුරා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරන්න. එහි පළමු උද්ඝෝෂණය මහනුවරදී පෙබරවාරි 20 වනදා පවත්වනවා. ඉන් පසුව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: