hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 31, පෙ.ව. 11:09



ගොවිතැන එපා වූ කන්තලේ ගොවීන් පිරිසක් තම කුඹුරු අස්වැද්දීම අතරතුර කුඹුරුවල පතල් හෑරීමට ද පටන් ගෙන ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

කාලයක් මෙම ඉඩම්වලට මැණික් ගැරීම සඳහා වාර්ෂික බලපත් ලබා දී තිබුණ ද වසර දෙකක පමණ කාලයක සිට එය ද නවතා දමා ඇති බැවින් ඩොලර් උපයා ගැනීමේ මාර්ගයක් වන මැණික් පතල් කැපීම සඳහා ඔවුන්ට බලපත් දෙන ලෙසට ගොවීන් ඉල්ලා සිටිනවා.

මෙම ගොවීන් සිය පරිභෝජනයට පමණක් වී වගා කොට පුරන්වන යායේ මෙසේ මැණික් පතල් කැපීම සිදු කරමින් සිටිනවා.

මෙම ගොවීන් පවසන්නේ පවතින රජයේ ක්‍රියා පිළිවෙත පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවත් රටේ තෙල්, පොහොර, ඩීසල්වල පවතින හිඟය හා අධික මිල ගණන් යටතේ කුඹුරු අස්වැද්දීමට තරම් මුදලක් ඔවුන් ළඟ නොමැති බවත් ඔවුන් පවසනවා.

තිබුණ රන් භාණ්ඩ ගිය කන්නයේ වගාවට උකස් තබා දැනට බේරා ගැනීමටවත් නොමැතිව තමන් අන්ත අසරණ තත්ත්වයට වැටී සිටින බවත් ඔවුහු වැඩිදුරටත් කියා සිටිනවා.

මේ පිළිබඳව කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ ඉන්දික පරණවිතාන මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පසුගිය කන්නයේ ගොවිතැනින් 40%කවත් අස්වැන්නක් අපේ ව්‍යාපාරයේ කිසිවෙකු ලබාගත්තේ නැහැ. ඒ ලැබුණු අස්වැන්න මැෂින්වලටත් බෙහෙත් පොහොරවලටත් අයින් කළාට පස්සේ ගත්ත ණය බේරා ගැනීමටවත් බැරි වුණා. ඒ නිසා ම මේ කන්නය ගොවිතැනට අත තියන්න මිනිස්සු බය යි. දැන් රජයෙන් වන්දියක්වත් ලබා දෙන්නේ නැහැනේ. ඉතින් මේ අයට දරුවන් ජීවත් කරවන්න පහසුම මාර්ගයක් තමා මේ තෝරාගෙන තියෙන්නේ.

මේක රටට ඩොලර් උපයා ගන්නත් හොඳ මාර්ගයක්. පසුගිය කාලයේ දිවයිනේ හැම ප්‍රදේශයකින් ම වාගේ පැමිණි මැණික් ව්‍යාපාරිකයන් මෙහේ වැහි වැහැලා හිටියේ. කන්තලේ හැම තැනින් ම මැණික් මතුවුණ නිසයි. ඒ කර්මාන්තය සඳහා අවසර නොමැතිවීමෙන් මැණික් ගැරීම නවතා දැමුවා. දැනට බලපත් නිකුත් කරන්නේ මැණික් හා පතල් කැණීම් කාර්යාංශයෙන් බැවින් එම කර්මාන්තය සඳහා බලධාරීන්ගේ නෙත් යොමු කර ගොවීන්ට බලපත්‍ර ලබා දෙන ලෙසයි අප ඉල්ලා සිටින්නේ.”