hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 15, ප.ව. 9:28



නිරිතදිග මෝසම් කාලගුණ තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යාහැකි අතර ධීවර හා නාවික ප්‍රජාවට ඒ පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර, කැළණි, කළු, බෙන්තර, නිල්වලා, ගිං යන ගංඟා මෙන්ම මහඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා දැනුම් දෙනවා.

මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශයන්ට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පවුල් 601 කට අයත් 2,352 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන් පවුල් 373කට අයත් 1,362 දෙනකු ඥාති නිවෙස්වල රැඳී සිටින අතර තවත් පවුල් 7කට අයත් 25 දෙනකු සුරක්‍ෂිත මධ්‍යස්ථාන තුනක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම දිස්ත්‍රික්කයන්හි නිවාස 82කට අර්ධ හානි සිදුව ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

කළුගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශයන්ට ඇද හැලුණු මහ වැසි හේතුවෙන් එය රත්නපුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබූ අතර කළුතර මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා තත්ත්වයන් පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමට 117 දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ඇතිවන ආපදා තත්ත්වයන්හිදී ජනතාවට මෙම දුරකථන අංකයට පැය 24 පුරාම අමතා දැනුම් දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.