hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 12:07



මෙම මස අවසානයේ සිට ඉන්ධන ගාස්තු ඉහළ යාමට නියමිතව තිබෙනවා.

ඒ මාසික ඉන්ධන මිල සංශෝධනය හා සංශෝධිත වැට්බද්ධ ඉන්ධන සඳහා එක්වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඉන්ධන සඳහා වැට් බද්ද 18%ක් අලුතෙන්ම එකතුවීමට නියමිතව ඇති නමුත් වරාය ගාස්තු සියයට 8%ක් ඉන්ධනවලින් ඉවත්වීම මත ඉන්ධන මිල ඉහළ යාම 10%කින් පමණක් සිදුවනු ඇති බවද වාර්තා වේ.

ඒ අනුව 2024 ජනවාරි මස පළමුවෙනිදා සිට මෙම මිල සංශෝධන බොහෝ දුරට ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගියදා අවධාරණය කළා.

මේ බව සඳහන් කළේ, එහි සමලේකම් කපිල නාඔටුන්න මහතා විසිනි.

මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගැනීම නිසා මෙම එකඟතාවයට පැමිණි බවයි, කපිල නාඔටුන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, එළඹෙන සතියේ අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන ලෙස ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ, සැලසුම් කර ඇති සියලුම විදුලි විසන්ධි කිරීම් අත්හිටුවන ලෙසටයි.

නඩත්තු කටයුතු සඳහා සැලසුම් කර ඇති විදුලිය විසන්ධි කිරීම් පිළිබඳ ජාත්‍යන්තර මිණුම් සලකුණු හා සමගාමීව විදුලි බල මණ්ඩලය විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

නිතර විදුලි සැපයුම අත්හිටුවන බවට පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලි සමාලෝචනය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සති අන්තයේ නඩත්තු කටයුතු සඳහා අනවශ්‍ය සැලසුම් සහගත විදුලිය විසන්ධිවීම් ද අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කරනු ලබයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එමඟින් විදුලිබල මණ්ඩලයට අතිකාල ගෙවීම් සඳහා විශාල මුදලක් වැය වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: