hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 මැයි 27, ප.ව. 9:57



ලබන සදුදා වනතුරු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමක් සිදුනොවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසනවා.

ලිට්රෝ සමාගමේ සභාපතිවරයා කියා සිටින්නේ ඇනවුම් කළ ගෑස් තොග රැගත් නෞකාව ප්‍රමාදවීම හේතුවෙන් අදාළ ප්‍රමාදය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් සෙනසුරාදා රාත්‍රියේ හෝ ඉරිදා අලුයම් කාලයේ දී අදාළ නෞකාව ශ්‍රී ලංකාව වෙත ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එලෙස නෞකාව පැමිණීමෙන් පසු ගෑස් තොග ගොඩබෑම වහාම ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බවත් එදින තුළදී සිලින්ඩර නැවතත් වෙළඳ පොළට නිකුත් නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

එතෙක් ගෑස් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, මෙට්‍රික් ටොන් 3500ක ගෑස් නෞකාව ලබන සඳුදා දිවයිනට පැමිණියහොත් අඟහරුවාදා සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේ.

එම නිසා යළි ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් දැනුම්දෙන තෙක් පෝලිම්වල රැදී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ.

අද පෙරවරුවේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් කිලෝග්‍රෑම් 38.5 ගෑස් සිලින්ඩර තොගයක් කෙරවළපිටිය ලිට්රෝ ගෑස් සමාගමෙන් නිකුත් කෙරුණා.

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල රැදී සිටියා.