hit counter

2026 ජූලි මස 25 වන සෙනසුරාදා

2026 ජූලි 26, පෙ.ව. 12:21



එළඹෙන අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගන්නා බවත්, රාජ්‍ය සේවකයා යනු ජනතාවගෙන් පිනට පඩි ලබන්නෙකු නොව සිය ශ්‍රමය වැය කර වැටුප් උපයන්නෙකු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ඇඹිලිපිටිය මහවැලි බුද්ධි මණ්ඩපයේදී පැවැති කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින් පිළිබඳ සමාජයේ පවතින ඇතැම් මතවාද විවේචනය කළ අමාත්‍යවරයා, “රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්නේ මහජනතාව කියන එක වැරදියි. ඔවුන් උදේ සිට රෑ වනතුරු මහන්සි වී වැඩ කරලා තමන්ගේ ශ්‍රමයට අදාළ වැටුපයි ලබා ගන්නේ. ඇත්තටම ඔවුන් කරන සේවයට සාපේක්ෂව දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ,” යැයි පැවසීය.

වී මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් ලබා දීම සාධාරණ වුවත්, අඩු අස්වැන්නක් ලබන ගොවීන්ට එම මිල ප්‍රමාණවත් නොවන බවයි. වී සහ සහල් මිල ස්ථාවර කිරීම සඳහා නව සංස්කෘතියක් ගොඩනගන බවත්, අතරමැදියන් විසින් ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයම සූරාකෑම වැළැක්වීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

මෙරටට අවශ්‍ය බීජවලින් සියයට 98ක්ම දැන් රට තුළම නිෂ්පාදනය කරන බවත්, සහල් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

“අපිට පුළුවන්නම් පොහොර නිකන් දෙනවා. කෘෂි රසායන සහ උපකරණ සඳහා සහන ලබා දිය යුතුයි. නමුත් ගොවීන් ද සිය අස්වැන්න වැඩි කර ගැනීමට උනන්දු විය යුතුයි,” යැයි ද හෙතෙම පැවසීය.

සංචාරකයින්ගේ අවශ්‍යතා සඳහා පමණක් සහල් ආනයනය කිරීමට සිදු විය හැකි බවත්, සැමන් වැනි දෑ ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී හිරු සහ දෙරණ මාධ්‍ය ආයතනවල ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ අමාත්‍යවරයා, රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට චෝදනා කළේය. “අපි සාමුහිකව වැඩ කරනවා. මාධ්‍ය මොනවා කිව්වත් අපි ජනතාව වෙනුවෙන් ගත යුතු තීන්දු ගන්නවා,” යැයි ද ඔහු කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: