hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 11, පෙ.ව. 10:00



කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදුකරන බවට නිරීක්ෂණය වීමත් සමග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු වෙනවා.

ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැළඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය කර තිබෙනවා.

මහජන දිනය ලෙස වෙන් කර ඇති සඳුදා දිනය තුළ සෑම රාජ්‍ය ආයතනයකම පහළ මට්ටමේ නිලධාරියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා වූ සෑම තරාතිරමකම නිලධාරීන් කාර්යාලයේ රැඳීසිටීම අත්‍යවශ්‍ය බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්.

එදිනට අසනීප හෝ නොවැළැක්විය හැකි කරුණක් වෙනුවෙන් හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවාඩු අනුමත නොකිරීමට ආයතන ප්‍රධානියා වගබලා ගත යුතු වෙනවා.

එමෙන්ම, මහජනතාවගෙන් දිනපතා ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් සියලුම රාජ්‍ය ආයතනවල විමසීම් කවුළු, මුදල් භාර ගැනීමේ කවුළු, අයැදුම්පත් භාර ගැනීමේ කවුළු අඛණ්ඩව වීවෘතව තැබිය යුතු වන අතර රාජකාරී කාලය තුළදී වෙනත් පෞද්ගලික කටයුතු සඳහා පිටව යාම නොකළ යුතු බවද නව චක්‍රලේඛයේ සඳහන්.

ආබාධිත සේවාලාභීන්ට කාර්යාල වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගත යුතු බවද එම චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: