hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 11, පෙ.ව. 10:18



අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (10) දිනයේ අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන්.

ඒ අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයෙකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතු වනවා.

එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ, අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බවයි.

අය වැය යෝජනාවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු තෙක් මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායකත්වය ලෙස සියයට 8ක මුදලක් අය කිරීමට ද කටයුතු කරන ලෙස එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබීම ද විශේෂත්වයක් .

මේ අතර මෙම ජිවින වියදම් දීමනාව ආධුනික හා පුහුණුලාභීන් සදහා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා, අනියම් දෛනික වැටුප් ලබන සේවකයින් සදහා සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා වලංගු බවයි එහි සඳහන් වන්නේ.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත්ව ඇත්තේ, 2024 අයවැය යෝජනා අනුව විශ්‍රාමිකයින් සඳහා දැනට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව මේ වසරේ අප්‍රේල් මාසයේ සිට 2,500කින් වැඩි කළ යුතු බවයි.

ඒ අනුව විශ්‍රාමිකයින් සදහා දැනට ගෙවනු ලබන මාසික ජීවින වියදම් දීමනාව රුපියල් 3,525 සිට රුපියල් 6,025 දක්වා වැඩි කිරීමට නියමිත බවද එම චක්‍රලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: