hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 17, ප.ව. 2:47



පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබෙනවා.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මුදල් මණ්ඩලය විසින් බවයි පැවසෙන්නේ.

මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබීම ද විශේෂත්වයක්.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක වැටුප් ද දෙගුණයකින් වැඩිකර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235කි.

සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි.

එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21570කින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183388) කළමනාකාර සහකාර පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී තිබෙනවා.

ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව රුපියල් 235,035ක වැටුපක් හිමි වන බවයි පැවසෙන්නේ.

පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184569.80) ඉහළ ගොස් ඇත.

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

මේ අනුව විශ්‍රාමිකයකුගේ වැටුප රුපියල් 55,000 කින් පමණ වැඩි වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: