hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:08



රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිමට තමන් මුදල් වෙන් කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව ජනාධිපති ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

ලබන වසරේ සැලසුම් කරනු ලබන වියදම් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ මේ වසරේ ඉදිරිපත් කරන අය වැයෙන්.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සදහන් කරන ලබන ජනවාරියේ සිට සිදුකිරිමට සැලසුම් කළ වැටුප් වැඩිකිරීමට අදාලව මුදල් වෙන් කිරීමේ හැකියාවක් නොතිබුණ බවයි, මහචාර්යවරයා අවාධාරණය කළේ.

ඒ හේතුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කළ බවට කරන ප්‍ර‍කාශය සත්‍ය නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය සේවකයෙකුගේ අවම වැටුප ජීවන වියදම් දීමනාව ද සමඟ රුපියල් 55,000ක් බව ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියා.

කෙසේවෙතත් මේ වනවිට රුපියල් 25,200ක ජීවන වියදම් දීමනාවක් ලබන රුපියල් 30,000ක පමණ මූලික වැටුපක් ලබන සේවකයින්ගේ රුපියල් 200ක මුදලක් කප්පාදු කරන බවයි ජනාධිපති ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පෙන්වා දෙන්නේ.

විශ්‍රාමිකයන්ට රුපියල් තුන්දහසක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට කැබිනට් තීරණයක් ගෙන තිබුණ ද එයට ද මුදල් වෙන්කර නැහැ.

ඒ බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුලු නිලධාරීන් රැස්කර පැවැත්වූ සාකච්ඡාවේදී අනාවරණ වී ඇති බව සඳහන්.

ඒ අනුව ඊට අදාල මුදල් සොයා ගත්තේ වෙනත් ක්ෂේත්‍ර සඳහා වෙන්කර එහෙත් වියදම් නොකළ මුදල් රුපියල් බිලියන අටක් පමණ එකතු කරගැනීමෙන් බවද මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැටුප් වැඩිකිරිම නොව ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන අය වැයෙන් වඩාත් සුදුසු පරිදි වැටුප් වැඩිකිරිමක් සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: