hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 10:30



රාජ්‍ය  ආයතනවලට ලැබෙන සෑම දුරකථන ඇමතුමකටත් විද්‍යුත් තැපැල් පණිවුඩවලටත් පිළිතුරු දීම අනිවාර්ය කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය  ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන ගැටලු හා විමසීම්වලට රාජ්‍ය ආයතන ප්‍රතිචාර ලබා දීමේදී මතු වී ඇති ප්‍රමාද වැළැක්වීම සඳහා මෙම විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභ  හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපියකට අවසන් පිළිතුරක් ලබා දිය නොහැකි අවස්ථාවකදී අදාළ පාර්ශ්ව වෙත සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් යවන ලෙසත් සති හතරක් තුළ අවසන් පිළිතුරක් යවන ලෙසත් චක්‍රලේඛය මගින් අවධාරණය කරයි.

පිළිතුරු ලිපියේ අස්සනට පහළින් විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ සෘජු දුරකථන අංකය, ෆැක්ස් අංකය සහ විද්‍යුත් ලිපිනය සඳහන් කිරීමද අනිවාර්ය කර තිබෙනවා.

රජයේ කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපිනය වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතු බවත් ඒ සඳහා නිශ්චිත නිලධාරියකු පත් කරන ලෙසත් එහි දක්වා තිබෙන බවත් මාණ්ඩලික නිලධාරීන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතු බවද චක්‍රලේඛය මඟින් අවධාරණය කර තිබෙනවා.

විද්‍යුත් ලිපි සඳහා එදිනම පිළිතුරක් ලබා දීමට රාජ්‍ය නිලධාරීන් ව ගබලාගත යුතු බවත් ඒ මොහොතේම අවසන් පිළිතුරු දීමට නොහැකි නම් පිළිතුර ලබා දෙන දින සඳහන් කොට අතුරු පිළිතුරක් යවන ලෙසත්  එහි සඳහන් කර තිබෙනවා.

රජයේ කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත නිලධාරියකු පත්කරන ලෙසත් දුරකථන ඇමතුම් ලබාදුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමුකළ යුතු දුරකථන අංකය ආදී තොරතුරු සටහන් කර ගන්නා ලෙසත් එහි දක්වා තිබෙනවා.

එම අවස්ථාවේදීම පිළිතුරු ලබාදීමට අපහසු කරුණු සම්බන්ධයෙන් අදාළ මාණ්ඩලික හෝ විෂයභාර නිලධාරීන් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදිය යුතු බවද චක්‍රලේඛය මඟින් අවධාරණය කරනවා.

තම කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීමට රාජ්‍ය ආයතන වෙත මහජනතාව නිරන්තරව පැමිණීමට වඩා ඔවුන් යොමු කරන ලිපි විද්‍යුත් ලිපි හා දුරකථන ඇමතුම්වලට කඩිනමින් පිළිතුරු ලබාදීමට රාජ්‍ය ආයතනවල නිලධාරීන් බැඳී සිටින බවද ලේකම්වරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: