hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 02, ප.ව. 2:22



කුමන ප්‍රවෘත්ති පැතිර ගියද දහස් ගණනින්, ලක්ෂ ගණනින් රාජ්‍ය සේවකයෝ ගෙදර නොයවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ආගමික වතාවත් මැද අගමැති කාර්යාලයේදී නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (01) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

අගමැති ලේකම් අනුර දිසානායක මහතා පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දීම ද සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසුවා.

කිසිම රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනවිට ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප අහිමි කර නැහැ. විශ්‍රාමික ගිණුමේ ණය ගෙවා හැර එම ගිණුම ස්වාධීන කිරීමට භාණ්ඩාගාරයට අවස්ථාව සලසා තිබෙනවා. ජාතියේ මහා ගොඩනැඟීම ඇති කිරීමට අපි අධිෂ්ඨානයෙන් කොටස්කාරයෝ වෙමු. අපි අතීතය පසුකර හමාරයි. අපට ඇත්තේ වර්තමානයෙන් අනාගතයට පිවිසීමයි.

අපට තිබුණු අමාරුම කාල පරිච්ඡේදයන්වලදී ජාත්‍යන්තර මිත්‍රයන් අපට සහාය වුණා. කොවිඩ් වසංගතය, ඉන්පසු අපේ ආර්ථිකය වැටුණු දරුණුම ප්‍රපාතයෙන් ගොඩ එන්නට ජාත්‍යන්තර මිත්‍රයන් අපට උදව් කළා. ඔවුන්ගේ ඒ විශ්වාසය පදනම් කරගෙන ජනාධිපතිවරයාත්, අගමැතිවරයා හැටියට මමත්, ඇමැති මණ්ඩලය ප්‍රධාන පාර්ලිමේන්තුවත් ඒ අභියෝගය ජය ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයේ රාජ්‍ය සේවයත්, විවිධ ක්ෂේත්‍රවල නිරත අපේ ජනතාව මත තබන ලද විශ්වාසය සාර්ථක වී තිබෙනවා.

අහරින් ස්වයංපෝෂිත විය හැකි මාතෘ භූමියක් බිහි කරන්නට අපේ රටේ ගොවි ජනතාවට පුළුවන්කම පැමිණ තිබෙනවා. අනෙක් ක්ෂේත්‍රවලද අප කෙරෙහි තබන ලද විශ්වාසය මත අපට තිබුණු මූල්‍යමය අර්බුද, ආර්ථික තහංචි ඉවත් කර ගැනීමට අගමැති කාර්යාලයේ ලේකම්වරයා ඇතුළු ඔබ සැම දක්වන ලද සහයෝගය, උනන්දුව, කැපවීම නව වසරේදී වඩාත් හොඳින් ඉටු කරන්නට හැකි වෙතැයි යළිත් අවධාරණය කරනවා. සෞභාග්‍යමත්, සශ්‍රීකවත් රටක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ප්‍රතිඥාවට අනුව දරිද්‍රතාවයෙන් තොර දියුණුව කරා පා නඟන රටක් ගොඩනැඟීමේ අභිලාෂයට අපි කැපවී සිටිනවා. අගමැති කාර්යාලය හැටියට සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

රාජකාරි කර්තව්‍ය ඉටු කිරීමේදී ඔබ සැම පසු කළ වසරට වඩා ධෛර්යමත්ව දැවැන්ත අලුත් විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නට පුළුවන් වූ නව වසරකටයි අපි පිවිසෙන්නේ. මිනිස් ජීවිතයේ බොහෝ දෑ ඉක්මනින් අපට අමතක වී යනවා. අමාරුකම්, දුෂ්කරතාවයන්, කටුක තත්ත්වයන් මඟ හරිමින් වඩා අපේ ජීවිතය පහසු කර ගැනීමේ ඕනෑකම වෙනුවෙන් අප කවුරුත් වැඩ කරමු. රාජකාරියේත්, පොදුවේ මුළු සමාජ‍යේත් එසේ දකින අනාගතය ඉෂ්ට කළ හැකි මාවත යළි ශක්තිමත් කිරීමට ඇති කළ විශ්වාසයයි අප අද මේ ඉදිරියට ගෙන යන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: