hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:02



නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ, මෙම පත්වීම් ප්‍රදානයත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රැසකට විසඳුම් හිමිවන බවයි.

මීට පෙර විවිධ බලපෑම් මත බඳවා ගැනීම් සිදු වුවද, වත්මන් රජය යටතේ විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් පදනම් කරගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සක්‍රියව ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙම බඳවා ගැනීම් හරහා ග්‍රාමීය මට්ටමේ පවතින බරපතළ නිලධාරී හිඟයට සහ එකම නිලධාරියා වසම් දෙකක වැඩ ආවරණය කිරීමේ ගැටලුවට යම් විසඳුමක් ලැබෙනු ඇත.

එමෙන්ම, ලබන වසරේදීත් තවත් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, එමඟින් වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු හැර සේවයේ පවතින සියලුම පුරප්පාඩු සම්පූර්ණයෙන් පුරවා ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට සැලසුම් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: