hit counter

2026 නොවැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 15, පෙ.ව. 12:19



 පසුගිය රජයන් සමයේ බිඳ වැටී තිබූ මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදැක ජනතාවට සහන සැලසීමේ ප්‍රතිපත්තිමය පොරොන්දුව වත්මන් රජය ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රකාශයන්හි අඩංගු ඇතැම් සාවද්‍ය කරුණු නිවැරදි කරමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, පසුගිය වසර දෙකක කාලය තුළ රට ලැබූ ප්‍රගතිය කුමක්දැයි විපක්ෂය නගන ප්‍රශ්නවලට නිල ආර්ථික සංඛ්‍යාලේඛන මඟින් ම මනාව පිළිතුරු සපයා ඇති බවයි.

“විදෙස් සෘජු ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා පහත වැටී ඇති බවට විපක්ෂ නායකවරයා සාවද්‍ය ප්‍රකාශයක් කළා. නමුත් 2016 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 10ක කාලය ගෙන බැලූ විට, වැඩිම විදේශ සෘජු ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඩොලර් බිලියන 1.4ක් ලෙසයි. එම අගය තවදුරටත් වර්ධනය කරගත යුතු බවට අපද එකඟ වන නමුත්, පසුගිය දශකය තුළ වාර්තා වූ ඉහළම ආයෝජන ප්‍රමාණය මෙය බව අවධාරණය කළ යුතුයි.

මැදපෙරදිග යුද ගැටුම් ඇතුළු ගෝලීය අර්බුද හමුවේ වුවද මෙරට ආර්ථිකය 5%ක අඛණ්ඩ වර්ධන වේගයක් රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. පළමු කාර්තුවේදී 5.1%ක් සහ දෙවන කාර්තුවේදී 4.2%ක ආර්ථික වර්ධනයක් සටහන් වුණා. දිගු කලක් පුරා සෘණ අගයක පැවති ප්‍රාථමික ශේෂය 5.4%ක ධන අගයක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර, එය මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ධන ප්‍රාථමික ශේෂයයි.

අයවැයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 360ක ධන ප්‍රාථමික ශේෂය සැප්තැම්බර් මස අවසන් වන විට රුපියල් බිලියන 1,844ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම අයවැය හිඟය 2.3%ක් දක්වා පහත හෙළා ඇති අතර, එය වසර 68කට පසු වාර්තා වූ අඩුම අයවැය හිඟයයි. මීට අමතරව ජංගම ගිණුමේ ශේෂය ඩොලර් මිලියන 1,719ක අතිරික්තයක් වාර්තා කරමින් ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර තිබෙනවා.”

“2022 වසර අවසානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 114%ක්ව පැවති මධ්‍යම රජයේ ණය බර ප්‍රමාණය, රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 95% දක්වා පහත හෙළීමට අප රජය සමත් වී තිබෙනවා.

එමෙන්ම 2022 වසරේදී මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක් ලැබූ සමස්ත බදු පෙර අලාභය රුපියල් බිලියන 774.6ක්. එහෙත් වත්මන් පාලනය යටතේ එම පාඩු ලබන ආයතන සියල්ල රුපියල් බිලියන 444.4ක ශුද්ධ බදු පෙර ලාභයක් ලබන තත්ත්වයට පත් කර තිබෙනවා. රටක් භාරගන්නා විට තිබූ තත්ත්වයත්, වත්මන් තත්ත්වයත් අතර වෙනස මෙයින් මනාව පැහැදිලි වෙනවා”

තමන් ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලිකම පොරොන්දුව වූයේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම, දූෂණය හා නාස්තිය තුරන් කර එහි ප්‍රතිලාභ ජනතාවට හිමිකර දීම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, පසුගිය කෙටි කාලය තුළ එම ප්‍රතිපත්තිමය වෙනස ප්‍රායෝගිකව සිදු කර පෙන්වා ඇති බවද අවධාරණය කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: