hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:45



ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරක ලක්මිණ රණසිංහ හට පහරදීම සහ සාපරාධී බියගැන්වීම සම්බන්ධ නඩුවේදී අදාළ චෝදනා සියල්ල සම්බන්ධයෙන් හේමාල් රණසිංහ වරද පිළිගෙන ඇත.

එහිදී හේමාල් රණසිංහ විසින් ලක්මිණ රණසිංහගෙන් සමාව ඉල්ලා, ලක්ෂ 5ක වන්දි මුදලක් ලබාදීමට එකඟ වි ඇත.

එම මුදල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කර අදාළ ලදුපත ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ලක්මිණ රණසිංහ කටයුතු කරන බව ගරු අධිකරණයට අද දිනයේදී (සැප්. 10) දන්වන ලදී.

මෙහි විශේෂත්වය වනුනේ පළමු නඩුවාරයේදී හේමාල් රණසිංහ පාර්ශවය සඳහන් කළේ චෝදනාවල ඇති පරිදි කිසිඳු පහරදීමක් සිදු නොවූ බවත් “ලක්මිණ, එන්න අපි කතා කරමු” කියා අතින් ඇදීමක් පමණක් සිදුකළ බවත්ය.

හේමාල් රණසිංහ විසින් වරද පිළිගෙන සමථ කොන්දේසි කිහිපයක් මත සමථ වූ වාර්තාව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබූ අතර අද දින මෙම නඩුව නැවත කැඳවන ලදී.

පැමිණිලිකාර පාර්ශවයේ ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ට නීතීඥ අජිත් පතිරණ මහතා ගරු අධිකරණය ඉදිරියේ මෙසේ කරුණු ඉදිරිපත් කරන ලදී.

“ස්වාමීනී මේ නඩුවට අදාළ සමථයේ ප්‍රධාන කොන්දේසියක් තමයි අගතියට පත් පාර්ශවයට කිසිඳු නින්දා අපහාසයක් සිදු නොකිරීම. නමුත් මේ පුද්ගලයා (හේමාල් මහතා) බරපතල විදිහට ඒ කොන්දේසිය උල්ලංඝනය කරමින් පවතිනවා. මොහු වරදක් කළා, ඒ බව පිළිගත්තා, සමාවත් ඉල්ලුවා, ගහපු නිසා තමයි වන්දිය ගෙව්වෙ ස්වාමීනී. ඒ වන්දිය අපි මහරගම පිළිකා රෝහල පරිත්‍යාග කරනවා. නමුත් මේ නඩුවට අදාළව මගේ සේවාදායකයාට අගතියක් වන ලෙස අධිකරණයේ දැනට තියන මේ නඩුව සම්බන්ධයෙන් ඩිජිටල් මාධ්‍යයේ මේ විත්තිකරුගේ මිතුරන් පෝස්ට් පළකරනවා. මේ සැකකරුගේ හොඳම යාළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වුන ක්ෂේත්‍රයේ එකට ඉන්න මිතුරෙක් ඇතුළු පිරිසක් තමයි මේක කරන්නෙ. ඒ අය මේ විත්තකරු සමඟ කරට අත දාගෙන ඉන්න ඡායාරූප පළකරමින් තමයි මේ නඩුවට අදාළ පෝස්ට් පළ කරන්නෙ ස්වාමීනී. මොනතරම් ජනප්‍රිය වුනත් විනය ඉතා වැදගත්. දක්ෂතාවට වඩා ඉහළින් විනය තිබිය යුතුයි ස්වාමීනී. ඒ විනය නැතිවීම ඉතා බරපතලයි”

මෙහිදී ලක්මිණ රණසිංහ හට පරහදීම සමාජමාධ්‍ය තුළ සාධාරණීකරණය කරමින් සහ ලක්මිණ රණසිංහ හට අපහාස වන ලෙස මෙන්ම, අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් හේමාල් රණසිංහට පක්ෂව පළවූ ෆේස්බුක් සහ ඩිජිටල් පෝස්ට් පිටපත් රැසක් ගරු මහේස්ත්‍රාත් තුමියගේ අතට පැමිණිල්ලේ නීතීඥවරුන් විසින් දෙන ලදී. එම සියලුම පිටපත් ගරු මහේස්ත්‍රාත් තුමියගේ දැඩි අවධානයට සහ පරීක්ෂාවට ලක් විය.‍

මෙහිදී විත්තියේ නීතීඥවරයා පැමිණිල්ලේ මෙම ප්‍රකාශය දැඩිව විරුද්ධ වෙමින් මෙසේ සඳහන් කළා.

“ගරු ස්වාමීනී, මේ කිසිවක් මගේ සේවාදායකයා දන්නෙ නෑ. වෙනත් පාර්ෂවයන් විසින් ෆේස්බුක් දමන දේවල්වලට තම සේවාදායකයාට චෝදනා කිරීම වැරදියි ස්වාමීනී. මගේ සේවාදායකයා ජනප්‍රිය නළුවෙක්. ඔහු සමඟ ගොඩක් අය ඡායාරූප ගන්නවා. කරට අත දාගෙන ෆොටෝස් ගත්ත පළියට ඔහු මගේ සේවාදායකයාගේ මිතුරෙක් වෙන්නෙ නෑ ස්වාමීනී.”

නමුත් ගරු මහේස්ත්‍රාත් තුමිය හේමාල් රණසිංහ හට අවවාද කරමින් කියා සිටියේ නඩුව අවසන් නොමැති තත්වයක් යටතේ මෙවැනි පෝසට් පළ කිරීම සම්පූර්ණයෙන් වැරදි බවයි. මිතුරෙක් කළත් තමන් කළත් එවැනි දේවල් සිදු නොවීමට විත්තිකරු වගබලාගත යුතු බව ගරු මහේස්ත්‍රාත් තුමිය සඳහන් කරන ලදී.

පැමිණිල්ලේ නීතීඥතුමන් තව දුරටත් මෙසේ සඳහන් කළා “ගරු ස්වාමීනී මේ සමතයේ කොන්දේසි තියනවා. මගේ සේවාදායකයාගේ ප්‍රකාශන අයිතියට කුමන ආකාරයකින්වත් බාධා කරන්න මේ විත්තිකරුට බෑ ස්වාමීනී.”

එම අස්ථාවේදී ද විත්තියේ නීතීඥතුමන් ඊට විරුද්ධ වෙමින් කියා සිටියේ ලක්මිණ මහතාගේ ප්‍රකාශන අයිතියට තම සේවාදායකයා කිසිඳු බාධාවක් කර නොමැති බවයි. එවිට ඊට විරුද්ධ වෙමින් පැමිණිලිකරුගේ නීතීඥතුමන් මෙසේ සඳහන් කරන ලදී.

“එහෙම කොහොමද කියන්නෙ! මගේ සේවාදායකයාගේ ප්‍රකාශන අයිතියට බාධා කිරීමක් තමයි මේ පහරදීමෙන් වෙලා තියෙන්නෙ. ඒකට තමයි මේ නඩුව පවරලා තියෙන්නෙ. නළුවෙක් වුන පළියට මිනිස්සුන්ට පහරදෙන්න බෑ ස්වාමීනී.”

මෙහිදී ගරු මහේස්ත්‍රාත් තුමිය හේමාල් රණසිංහ හට දැඩිව අවවාද කරමින් කියා සිටියේ “ටෙලිනාට්‍යවලයි සිනමාවෙයි දාන පාට් සැබෑ ජීවිතේදි දාන්න එපා!!” යනුවෙනි.

ඒ අනුව පාර්ශව දෙක විසින් කොන්දේසි මත සමථ වීමේ එකඟතාව පිළිගත් ගරු අධිකරණය මෙම නඩු කටයුත්ත අවසන් කරන ලදී.

හේමාල් රණසිංහ විසින් ලක්මිණ රණසිංහ හට පහරදීම සිදුකර ඇත්තේ 2026 ජනවාරි 8 වන දින ෆාදර් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුනු හැව්ලොක් සිටි සිනමා සංකීරණයේදීය.

ෆාදර් චිත්‍රපටයේ මංගල දර්ශනය අවසන්වීමෙන් පසු කලා ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඉදිරියේ ලක්මිණ රණසිංහගේ හිසට, බෙල්ලට, උරහිසට සහ පිටට හේමාල් රණසිංහ විසින් දැඩිව පහර දී ඇති බව වාර්තා විය. එම අවස්ථාවේදී හේමාල් රණසිංහ විසින් ලක්මිණ රණසිංහ හට එසේ පහරදී ඇත්තේ මාරියා චිත්‍රපටය ගැන ලක්මිණ රණසිංහ විසින් සිදුකරණ ලද විචාරයකදී තමන් ගැන සඳහන් “නොකිරීමත්”, තමන්ගේ ඡායාරූපය අදාළ සටහන සමඟ පළ “නොකිරීමත්” පදනම් කරගෙන බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: