2026 අගෝස්‍තු 07, පෙ.ව. 12:14
ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ නිමැවුම්කරුවන් වන වතුකරයේ ජනතාව දශක ගණනාවක් පුරා මුහුණ දුන් ප්‍රධානතම මානව හිමිකම් හා යටිතල පහසුකම් ගැටලුවක් වන්නේ ප්‍රමාණවත් අභිමානවත් නිවාස නොමැතිකමයි. යටත්විජිත යුගයේ සිට පැවත එන පේළි නිවාස (Line Rooms) සංස්කෘතියෙන් මිදී, ස්ථීර නිවාස හිමිකරුවෙකු බවට පත්වීමේ සිහිනය සැබෑ කරමින් ඉන්දීය රජය (Government of India – GoI) සුවිශේෂී මූල්‍ය හා තාක්ෂණික සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දෙමින් සිටී.
නිල දත්ත ලේඛනවලට අනුව, ඉන්දීය නිවාස යටිතල පහසුකම් ව්‍යාපෘතියේ පළමු අදියරේ යටතේ ඉදිකෙරෙන නිවාස 4,000 වතුකරයේ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය වතු මට්ටමින් බෙදා හැර ඇත.
මේ ආකාරයෙන් බෙදාදුන් නිවාස හුදෙක් වතුකරයට පමණක් සිමා නොවෙමින් ලංකාවේ දකුණුපළාතේ නිවාස අහිමි ජනතාව හට බෙදා දීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් වේ. දිස්ත්‍රික්ක මට්ටමින් නිවාස බෙදීගොස් ඇති ආකාරය සොයා බැලීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නිවාස 1,312 (සමස්තයෙන් 32.8%) – ඩන්සිනන් (Dunsinane), ලින්ඩන්, මෝනිංටන්, ලිඩ්ඩෙස්ඩේල් ආදී ප්‍රධාන වතු 9ක් ආවරණය වනසේ ලබාදී තිබේ. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුළ නිවාස 865 (සමස්තයෙන් 21.6%) – ලෙජර්වත්ත, සානියා, වෝර්වික්, ස්ප්‍රින්වැලි, තෙල්බැද්ද, කුමාරවත්ත, ග්ලෙනනෝර් ඇතුළු වතු 13ක් සඳහා ලබාදී තිබේ. තවත් නිවාස 823 (සමස්තයෙන් 20.6%) මහනුවර දිස්ත්‍රික්කයේ හෙල්බොඩ, රූක්වුඩ්, හන්ටාන, කැලේබොක්ක, හගල, එල්කඩුව ඇතුළු වතු 15ක් සඳහා ද, නිවාස 730 (සමස්තයෙන් 18.3%) හැටන් කලාපයේ බෝගවන්තලාව, ලෙතෙන්ටි, ෆෙට්‍රෙසෝ, වනරාජා, වැල්ඔය ඇතුළු වතු 9ක් වෙනුවෙන් හා දකුණුපාලතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නිවාස 270 (සමස්තයෙන් 6.7%) – ඇන්සල්වත්ත (Ensalwatte), ඉන්දෝල (Indola), තල්ගස්වල (Talgaswela), බෙවර්ලි (Beverly) සහ වලහන්ඩුව (Walahanduwa) යන වතු පරිශ්‍රයන් සඳහා ලබාදී ඇත.
මෙම දත්ත සම්බන්ධයෙන් සොයාබැලීමේදී අනාවරණ වෙන්නේ වතුකරයේ වැඩිම ජනගහනයක් වෙසෙන මධ්‍යම කලාපයට ප්‍රමුඛතාව ලබා දෙන අතරම, දකුණු පළාතේ (ගාල්ල) වතු ජනතාවද මෙම ව්‍යාපෘතියට අන්තර්ග්‍රහණය කර තිබීම විශේෂත්වයකි. තවද, ඊළඟ අදියරයන් (Phase IV – 3,225 නිවාස සහ ඒකක 10,000 යෝජනාක්‍රමය යටතේ නිවාස 4,700) සඳහා වන ප්‍රමුඛතා ලේඛන ද දැනටමත් සකස් කරමින් පවතින අතර, අම්පාර (කෝස්මීන, මෙල්වම්), ගෝමගල්ල, කැනවැරැල්ල, කිංස්ලී, පිංගම වැනි දුරස්ථ වතුකර ප්‍රදේශ ද මෙම සංවර්ධන ක්‍රියාදාමයට එක්කරගෙන ඇත.
ඉන්දීය රජයේ විශේෂ සහයෝගය සහ ආයතනික වගකීම්
මෙම ව්‍යාපෘතිය හුදෙක් මුදල් ප්‍රතිපාදන ලබාදීමකට පමණක් සීමා නොවූ, සෘජු අධීක්ෂණය සහ ශ්‍රී ලංකා රජය හා දේශීය ආයතන සමඟ එක්ව ක්‍රියාත්මක වන පුළුල් ද්විපාර්ශ්වික වැඩසටහනකි. නිල ව්‍යාපෘති විස්තරයට (Project Description) අනුව ආයතනික වගකීම් බෙදී යන්නේ මෙසේය:
මෙම නිවාස සම්බන්ධයෙන් ඉන්දීය රජය වෙනුවෙන් සමස්ත ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම, මූල්‍ය ප්‍රතිපාදන වාරික වශයෙන් නිදහස් කිරීම සහ ක්‍රියාත්මක කරන නියෝජිතායතනවල (Implementing Agencies) ගුණාත්මකභාවය තහවුරු කිරීම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය (HCI) මගින් සිදුවේ එමෙන්ම අභ්‍යන්තර මාර්ග, වැසි ජල කාණු පද්ධති, ජල සම්පාදනය සහ විදුලිය ලබාදීම ඇතුළු පොදු යටිතල පහසුකම් සඳහා පූර්ණ අරමුදල් සැපයීම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය (HCI) මගින් සිදුවේ. එමෙන්ම ප්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) සමඟ එක්ව නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් තේරීම, ඉඩම් මැනුම් කටයුතු, නාගරික සංවර්ධන අධිකාරිය (UDA), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මගින් අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය (PHDT) මගින් සිදු කෙරේ.
ඊට අමතරව ප්‍රතිලාභී පවුල් සංවිධානය කිරීම, දක්ෂ ශ්‍රමිකයන් යෙදවීම, ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා ගැනීම සහ ප්‍රතිලාභීන් වෙනුවෙන් වෙන්වූ විශේෂ බැංකු ගිණුම් (Individual Ledger Accounts) පාලනය කිරීම වතු කම්කරු නිවාස සමුපකාර සමිති (EWHCS) මගින් සිදු කරනු ලැබේ. දේශීය ශිල්පීන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කරමින්, ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයන්ද තමන්ගේම නිවස ඉදිකිරීමේ ක්‍රියාවලියට සෘජුවම සම්බන්ධ කරගැනීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි.
ඉන්දීය රජයේ මෙම මූල්‍ය හා යටිතල පහසුකම් ප්‍රදානය, වතුකරයේ ජනතාව මුහුණ දෙන අභියෝගවලට තිරසාර විසඳුමක් ලබාදෙන ප්‍රවේශයකි. දැඩි විනිවිදභාවයකින්, පාරිසරික අනුමැතීන් සහිතව, සහ ප්‍රතිලාභීන්ගේද සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘති, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, ලංකා-ඉන්දීය ද්විපාර්ශ්වික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් තැබූ වැදගත් පියවරක් වුවත් එය නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතාවගේ දිගුකාලින සුභ සිද්දිය වෙනුවෙන් එම මුදල් යෙදවීම මෙරට රජයේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකමකි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:14