hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 21, පෙ.ව. 8:22



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම සිංගප්පූරුව බලා පිටත් ගියා.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද එක්ව සිටිනවා.

ජනාධිපතිවරයා සිය සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං ඇතුළු එරට රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මෙහිදි අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිව ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙකු පත් කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බව සඳහන්.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස මෙන්ම සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: