hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 19, පෙ.ව. 10:53



දේශපාලඥයින්ට අඩු මුදලකට ඉන්ධන ලබා දීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා සඳහන් කළේ නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලේ පොම්පය මීට මාස කිහිපයක තිබූ අගය යාවත්කාලින කර නොමැති බවයි.

දැනට මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දක්වා සිටියා,

“සමාජයේ වැරදි මතයක් ඊයේ රාත්‍රි යේ සිට පළවෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට බලවත් අසාධාරණයක් සිදුවෙලා තියෙනවා. ඛනිජ තෙල් නිතිගත සංස්ථාව මේ මොහොතේදිවත් මීට පෙරදිවත් කිසිම අවස්ථාවක වෙළඳපොලේ පවතින මිලට අඩුවෙන් තෙල් මිලදී ගන්න අවස්ථාව දීලා නෑ.

ඒක මේ මොහොතේ දීලාත් නෑ. මිට පෙර දීලත් නෑ. ඉදිරියට දෙන්නෙත් නෑ. මේ කතිකාවත ඇතිවෙලා තිබෙන්නේ අද ඇතිව තිබෙන ඉන්ධන අර්බුදයත් එක්ක.කථානායකවරයා පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබුණා පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉන්ධන පහසුකම් ලබාගැනීම සඳහා යම් ඉඩකඩක් ලබාදෙන්න පුළුවන්ද කියලා.

මේ ඉන්ධන හලෙන් (නාරාහේන්පිට) ඉන්ධන අලෙවි කිරිමක් සිදුකරන්නේ නෑ. පොලීසිය අදාළ මිල ගණන යටතේ ඉන්ධන මිලදී ගැනීම සිදුකරනවා. අපට අදාළ මුදල් ගෙවලා ඉන්ධන ලබා ගන්නවා. පොලීසියේ නිලධාරින්ට නිකුත් කරන්නේ මුදලට නෙමෙයි.ලීටර් ප්‍රමාණයට පමණයි නාරාහේන්පිට ගරාජයෙන් කරන්නේ. ඒක තමයි මෙතෙක් පැවතුන සම්ප්‍රදායික ක්‍රමය. පොලිස්පතිවරයා අපෙන් ඉල්ලීමක් කළාම ඛනජ තෙල් නීතිගත සංස්ථාව ඔවුන්ට ලිඛිතවම සඳහන් කර තිබුණේ වෙළදපොළේ පවතින සිල්ලර මිලට පවතින කොන්දේසි යටතේ ඉන්ධන ලබාදෙන්න අවස්ථාව දුන්නා.

නමුත් බරපතල වරදක් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ගරාජය මගින් මේ තියෙන ඩිස්පෙන්සර් එක යාවත්කාලින කරලා නෑ. අවුරුදු 3 හතරකින්. මේ 121ක අගය තියෙන්නේ මාස කිහිපයකට පෙර තිබුණ අගයක්. ඔවුන් ඒ තාක්ෂණික වැරැද්ද සිදුකරලා තියෙනවා. ඒ නිසා අපි වහාම අත්පිට මුදලට ඉන්ධන නිකුත් කිරිම නවත්වන්න කියලා අපි දැනුම් දුන්නා.

මේක යාවත්කාලින නොකරපු එක ගැන පරීක්ෂණයක් කරන්න කියලා අපි දැනුම් දුන්නා. ජනාධිපති, අගැමැති විපක්ෂනායක ඇතුළු සියලු දෙනාටම ඉන්ධන ගහන්නේ පවතින මිල ගණන් යටතේ. අපිත් තෙල් ගහන්නේ ඉන්ධන පෝලිම්වල ඉදගෙනයි. අත්‍යාවශ්‍ය රථවලට පමණක් අපි ඉන්ධන ලබාදෙනවා. වෙළඳපොලේ වටිනාකමට සතයක අඩුවෙන් අපි ඉන්ධන ලබාදීලා නෑ. ඉදිරියටත් අපි දෙන්නේ නෑ. මාධ්‍ය මේක නොදන නෙමෙයි වෛරය හිතා මතා ඇති කරන්න කරපු දෙයක්. “

එසේම නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රට තුළ ඉන්ධන හිඟයක් ද පවතින කාල වකවානුවක ජනතාව පීඩාවට පත් කරමින් දේශපාලනඥයින්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ තවත් පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ, නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ දී යි.

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පවා දැඩි ලෙස මේ සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ ද සංසරණය වන අයුරු දක්නට ලැබෙනවා.

https://streamable.com/x4ru1i

මෙම සිදුවීම වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා අවශ්‍ය කරන ඉන්ධන පවතින මිල ගණන්වලට වඩා අඩුවෙන් ලබාදීමයි.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මෙම පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ රුපියල් 121 ශත 19කට බවයි සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන මිල ගණන් සහිත එම සටහන්වල දැක්වෙන්නේ.

ජනතාවට ලැබෙන පෙට්‍රල් (92) ලීටරය ලැබෙන්නේ ද රුපියල් 338කටය.

නමුත් ජනතාව ද එම මිලට පෙට්‍රල් ලබා ගැනීමට දවස් ගණනක් පෝලිම් වල රැඳී සිටිනවා.

එලෙස ඔවුන් මහ මඟ රැදී සිටින්නේ කුසට අහරක්වත් නොමැතිවයි.

නමුත් දේශපාලකයින්ට එම තත්වයට මුහුණ පාන්නට අවශ්‍ය නැහැ.

ඒ ඔවුන්ට ජනතාවට වඩා අඩු මුදලකට වගේම පෝලිම් වල සිටින්නේ නැතුව නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් තෙල් ලැබෙන නිසයි.

කෙසේවෙතත්  බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ජනතාවට දිගින් දිගටම දැනුම් දුන්නේ ඉන්ධන පෝලිම් වල රැඳී නොසිටින ලෙසයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ගරාජයෙන් තෙල් දීම අයෝග්‍ය බවයි.